සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 335

උර ගානවා

ක්‍රි. (රන් ආදියෙහි වටිනාකම සෙවීම සඳහා) උරගලක අතුල්ලනවා; තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා.

උර තලය

නා. පපුව; ළපැත්ත; වක්ෂස්ථලය.

උර දෙනවා

ක්‍රි. කර ගහනවා; උදවු දෙනවා; ආධාර දෙනවා.

උර හැන්ද

(කථා.) නා. උරපත්ත.

උරඃපඤ්ජරය

නා. එක් පැත්තක දොළස බැගින් දෙපැත්තෙහි විසිහතරක් වූ ඉල ඇට; පපු ඇට කූඩුව; ඉල ඇට සැකිල්ල.

උරඃපටලය

(පාරිභා.) නා. හදවත ආවරණය කරගෙන ඇති සියුම් සිවිය; හෘද පටලය; හෘත්පර්යාවරණය; පරිකන්තුව (=pericardium).

උරඃඵලකය

නා. ළයෙහි ඉදිරිපසින් පිහිටි ඇටය; පපු ඇටය; උරෝස්ථිය; ක්‍රෝඩකය.

උරඃස්ථලය

නා. පපුව; ළපැත්ත;වක්ෂඃතලය.

උරකඳ

(පාරිභා.) නා. රෙදි වියන යන්ත්‍රයක ඉදිරිපස වියන්නාගේ ආසනයට උඩින් සවි කර තිබෙන ලී කඳ.

උරකැටය

නා. ළිඳක පැති ආරක්ෂා කිරීම සඳහා එහි පතුලේ සිට ඉහළට බස්සවන දැවමුවා හෝ මැටිමුවා වළලු.

උරගයා

නා. බඩගා යන සතා; සර්පයා; නයා; නාගයා.

උරගල

නා. රන්, රිදී ආදි ලෝහ පරීක්ෂා කිරීම සඳහා ගැනෙන ගල් විශේෂයක්; නාහස්නා පහණ; නිකෂ පාෂාණය.

උරගාධිපතියා

නා. උරග අධිපතියා; උරගයින්ගේ නායකයා; නාගරාජයා.

උරඟ රත්නය

නා. නාගයකුගේ උගුරේ තිබේ යැයි සැලකෙන මාණික්‍යය; නාගමාණික්‍යය; කණ්ඨ මාණික්‍යය.

උරඟන

නා. උරග කන්‍යාව; නාග කන්‍යාව.

උරඟලිය

නා. නැයිනිය; නාගිනිය.

උරචක්‍රමාලය

1. නා. නිරයේ උපන් පව්කාරයින්ගේ බෙල්ලට වැටී වද දෙතැයි විශ්වාස කරනු ලබන ආයුධයක්; උරචක්‍රය.
2. නා. ගැලවිය නොදී වධහිංසා දෙවන දෙය.

උරච්චි කරනවා

ක්‍රි. තද මතුපිටක උළනවා; ගල ගානවා; අතුල්ලනවා.

උරච්ඡදනය

1. නා. උරවැස්ම.
2. නා. ළය පෙදෙස වැසෙන සේ අඳිනු ලබන වස්ත්‍රය.

උරණ

වි. කුපිත; තරහ වූ; උදහස් වූ; කෝපාවිෂ්ට වූ.

උරතුර

නා. උර අන්තරය; පපුව; ළපැත්ත.

උරදා

නා.ප්‍ර. තමාට ම දාව උපන් පුත්‍රයා; ස්වකීය ඖරස පුත්‍රයා.

උරනලුණු

(පාරිභා.) නා.ප්‍ර. (ක්ලාන්ත වීම ආදියෙහි දී උත්තේජනයක් වශයෙන් නාසයට ඉරීමට දෙනු ලබන) ඇමෝනියම් කාර්බනේට් හා සුවඳ මිශ්‍රණය (=smelling salts).

උරනවා

ක්‍රි. මුඛයෙන් හෝ නාසයෙන් ඇතුළට අදිනවා; චූෂණය කරනවා.