සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 352

ඍෂභයා

නා. ගොනා.

ඍෂ්ටි

වි. මැවූ ; මවන ලද.

ඍෂ්ටිය

නා. මැවීම ; නිර්මිත කිරීම ; නිර්මාණය.

ඍෂි

1. නා.ප්‍ර. වේදදර්ශක මුනිවරයා.
2. නා.ප්‍ර. රෝග තතු හා චිකිත්සාක්‍රම ස්වබුද්ධි මහිමයෙන් අවබෝධ කොටගෙන ලොවට ප්‍රකාශ කළ අට වැදෑරුම් ආදි වෛද්‍යවරයෝ.
3. නා.ප්‍ර. ශාස්ත්‍රාධිගමය කළ මුනිවරයා.

ඍෂි පතනය

නා. ඉසිපතනය.

ඍෂි භාෂිතය

නා. ඍෂීන් විසින් කියන ලද දෙය.

ඍෂිප්‍රවෘජ්‍යාව

නා. (භික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් අන්‍ය වූ) තාපස ප්‍රවෘජ්‍යාව; තාපස පැවිද්ද.

ඍෂිප්‍රෝක්ත(ය)

නා. ඍෂීන් විසින් කියන ලද දෙය.

ඎ

මිශ්‍ර සිංහල හෝඩියේ දසවන අකුර හා දසවන ස්වරය.

ඏ

මිශ්‍ර සිංහල හෝඩියේ එකොළොස්වන අකුර හා එකොළොස් වන ස්වරය.

ඐ

මිශ්‍ර සිංහල හෝඩියේ දොළොස්වන අකුර හා දොළොස්වන ස්වරය.

එ

1. මිශ්‍ර සිංහල අක්ෂර මාලාවේ දහතුන්වන අක්ෂරය දහතුන්වන ස්වරය.
2. (සර්ව.) හේ; හෙතෙම; ඔහු.
3. එය.

එක

1. නා.ප්‍ර. මුල් ඉලක්කම; ප්‍රථම හා සංඛ්‍යාව.
2. නා.ප්‍ර. යම් කිසිවක්; කාරණයක්.

එක ඇසින්

ක්‍රි.වි. සම පරිද්දෙන්; එක් අයුරකින් සලකන.

එක එල්ලේ

ක්‍රි.වි. කෙළින් ම; ඍජුව ම.

එක රොත්ත

නා. එකගොඩ; රැළ; රාශිය; සමූහය.

එක සේ

ක්‍රි.වි. එක ලෙස; එක ම ආකාරයෙන්.

එකකුස

නා.ප්‍ර. එක මවු කුස.

එකගෙයි කනවා

ක්‍රි. සහෝදරයන් දෙදෙනකු හෝ කීප දෙනකු එක ම ස්ත්‍රියක බිරිඳ කොට ගන්නවා; සමගි විවාහයක් පවත්වනවා.

එකඟ

1. වි. එක් අරමුණක පිහිටි; නොවිසුරුණු; සමාහිත වූ.
2. වි. කැමති; අනුකූල වන.

එකට එක කියනවා

ක්‍රි. යමකු කී දෙයට කැපෙන පිළිතුරක් දෙනවා; වචනෙට වචනෙ කියනවා.

එකට කෑම

(කථා.) නා. ඥාති සම්බන්ධය තහවුරුවීම සඳහා විශේෂයෙන් මංගල්‍ය අවස්ථාවල එකට වාඩි වී ආහාර ගැනීම.

එකඩ

[එක් + අඩ]
නා. එක් අර්ධය; භාගය.

එකත

1. නා.ප්‍ර. එක පැත්ත; එක් අංශය.
2. නා.ප්‍ර. ඒකාර්ථය; ඒක වචන අර්ථය.
3. නා.ප්‍ර. එක් අත; ඒක හස්තය.