සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 363

ඒකච්ඡත්‍ර

වි. එක ම සේසතට යටත්; එක ම රජකුට යටත්; එක ම ආඥාවක් යටතේ පාලනය කරනු ලබන.

ඒකච්ඡන්දය

නා. හැම දෙනාගේ ම සමාන වූ කැමැත්ත; එක ම කැමැත්ත.

ඒකච්ඡන්න

වි. එක් වැස්මක් ඇති; එක් පියස්සක් හෙවත් වහලක් ඇති.

ඒකච්ඡිද්‍ර

වි. එක් සිදුරක් ඇති.

ඒකච්ඡිද්‍රය

නා. නළා විශේෂයක්; ශුෂිර තූර්ය භාණ්ඩයක්.

ඒකචින්තී

වි. ස්ථිර සිතක් ඇති; දැඩි අධිෂ්ඨානයකින් යුක්ත; එක දෙයක් ගැන සිත යොදන.

ඒකජ

වි. (ව්‍යාක.) එක් ස්ථානයකින් උපන්; එක ම උත්පත්ති ස්ථානයක් ඇති.

ඒකජාක්ෂරය

[ඒකජ + අක්ෂරය]
නා. එක් ස්ථානයකින් පමණක් උපන් අක්ෂරය.

ඒකජාත

වි. එක ම පියාට දා වූ; එක් පියකුට ජාතක වූ.

ඒකජාතීය

වි. එක ම වර්ගයට අයත්; සමාන ජාතියකට අයත් වූ.

ඒකජාල

නා.ප්‍ර. එකට එක් වූ ගිනිදැල්ල; එක ම ගිනිජාලාව; ඒකජ්වාලය.

ඒකජීවාණු

වි. එක සෛලයක් ඇති; ඒක සෛලික.
නා.ප්‍ර. ඒකසෛලික ජීවියා.

ඒකතල

1. වි. එක් තලයක් හෙවත් මුහුණතක් ඇති; එක් ඇසක් හෙවත් පැත්තක් ඇති.
2. (පාරිභා.) වි. එක ම තලයක පිහිටි හෝ ක්‍රියා කරන.
3. වි. එක් අක්ෂක ඡේදකයක් හරස් ව පිහිටි (=coplanar).

ඒකත්වය

නා. එකක්බව; එකමුතුබව; ඒකතාව.

ඒකත්‍රකරණය

නා. එක්තැන් කිරීම; එක් කොට ගැනීම.

ඒකත්‍රාණ

නා.ප්‍ර. එක ම ආරක්ෂාව; එක ම රැකවරණය.

ඒකතානී

වි. හඬෙහි උස්, පහත් ස්වභාවයක් නැති; ඒකාකාර ශබ්දයක් ඇති; නීරස; විවිධත්වයක් නැති.

ඒකතාව

නා. එක්සත් ස්වරූපය; එක්සත්බව; ඒකීයතාව.

ඒකතුල්‍ය

වි. එක ම ස්වරූපයක් ඇති; අතිශයින් සමාන.

ඒකථූණිකා

නා.ප්‍ර. එක්ටැම්ගෙය; එකස්තම්භ ගෘහය.

ඒකදන්තයා

1. නා.ප්‍ර. එක දළයක් ඇත්තා.
2. නා.ප්‍ර. ගණ දෙවියන්ට ව්‍යවහාර කරනු ලබන නාමයක්.

ඒකදල

වි. එක කොළයක් පමණක් ඇති; ඒක පත්‍රික.

ඒකද්ධාන මාර්ගය

නා. එක ම දුරුකතර මඟ; එක ම ප්‍රධාන මාර්ගය.

ඒකදිශා

(පාරිභා.) වි. එක ම පැත්තකට අයත් (=unidirectional).