සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 506

කෘශලක රක්තපාතය

නා. කෘශලයකින් හෙවත් කේශනාලිකාවකින් ලේ ගැලීම.

කෘශලකය

නා. කෙස් ගසකට සමාන කළ හැකි ඉතා සිහින් රුධිරවාහිනිය; කේශනාලිකාව.

කෘෂක

වි. ගොවිතැනට සම්බන්ධ; ගොවිකමෙහි යෙදෙන.

කෘෂ්ටාබ්දය

නා. ක්‍රිස්තු වර්ෂය.

කෘෂ්ණ

1. වි. කළු; තද නිල්; ශ්‍යාම වර්ණ.
2. වි. අඳුරු; අන්ධකාර.
3. වි. පාපී; අනිෂ්ට.
1. නා.ප්‍ර. කොවුලා; කවුඩා.
2. නා.ප්‍ර. පාපය; අකුසලය; අශුභ කර්මය.
3. නා.ප්‍ර. විෂ්ණුහු ගේ දස අවතාරයෙන් එකක්.
4. නා.ප්‍ර. සෙනසුරු ග්‍රහයා.
5. නා.ප්‍ර. කළු ඊයම්.
6. නා.ප්‍ර. යකඩ.

කෘෂ්ණ අභ්‍රක

නා.ප්‍ර. කළු පැහැති ඛනිජයක්; මැග්නීසියම්වල කළු පැහැති ආම්ලික මෙටාසිලිකේටයක්.

කෘෂ්ණ ධර්මය

නා. පශ්චාත්තාපයට හේතු වන කාරණය; අකුශල ධර්මය.

කෘෂ්ණ පක්ෂය

නා. කළුවර පක්ෂය; චන්ද්‍රයාගේ අව පක්ෂය හෙවත් හායන පක්ෂය.

කෘෂ්ණ මණ්ඩලය

නා. ඇසෙහි කළු කොටස; කළු ඉංගිරියාව.

කෘෂ්ණ මරණය

නා. තුදුස්වන සියවසෙහි යුරෝපයේ විශාල මරණ සංඛ්‍යාවකට තුඩු දුන් (මහාමාරිය වැනි වූ) මහා වසංගත රෝගය (=black death).

කෘෂ්ණ වර්ණ

1. නා.ප්‍ර. කළු පැහැය.
2. නා.ප්‍ර. කස්තුරි.

කෘෂ්ණකර්ම

නා.ප්‍ර. පාපක්‍රියාව; පාපය; අකුශල කර්මය.

කෘෂ්ණච්ඡදය

(පාරිභා.) නා. කෘෂ්ණමණ්ඩලයේ හෙවත් තාරා මණ්ඩලයේ වර්ණකධර ස්තරය (=uvea).

කෘෂ්ණලෝහ

1. නා.ප්‍ර. කාන්දම්.
2. නා.ප්‍ර. යකඩ.
3. නා.ප්‍ර. වානේ.

කෘෂ්ණවර්තනී

නා.ප්‍ර. ගින්න; අග්නිය.

කෘෂ්ණශුක්ලවිපාක

නා.ප්‍ර. අකුශල හා කුශල විපාක.

කෘෂාණයා

නා. කෘෂිකාර්මිකයා; ගොවියා.

කෘෂි වගාව

නා. බිම් කෙටීමෙන්/ සී සෑමෙන් කළ හැකි වගාව; කෘෂිකර්මය; ගොවිතැන.

කෙ

සර්ව. කවුරු; කවරෙක්.
වි. කවර, කුමන; කෙබඳු

කෙංගෙඩිය

(කථා.) නා. වැද ගැම්මකට නැති දෙය; පලක් නැති දෙය; ඉතා සුළු දෙය.

කෙංචි

(කථා.) වි. කෙට්ටු; කෘශ; කුඩා.
නා.ප්‍ර. තරහ; කෝපය: කේන්ති.

කෙඔලින්

නා.ප්‍ර. පිඟන් භාණ්ඩ සෑදීමට ගන්නා සුදු පැහැති සිනිඳු මැටි විශේෂයක්; පිඟන් මැටි; චීන මැටි.

කෙක්ක

නා. යමක් එල්ලීම, ඇමිණීම හො නෙළීම සඳහා අගින් ඇවුණුමක් ඇති දිග ලීය.

කෙකා

නා.ප්‍ර. මොනරාගේ හඬ; මයූර නාදය; කෙකාරැව; කේකා රාවය.