සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 507
කෙකි ගානවා
1. ක්‍රි. පිදුරුවලින් බැත වෙන් කරනවා; කෙක්කකින් පිදුරු බේරනවා.
2. ක්‍රි. කෙක්කකින් යම් කිසිවක් (පල වැල ආදිය) කඩනවා.
කෙටි
වි. දික් නොවූ; ලුහුඬු; කොට; සංක්ෂේප.
කෙටිතරංග
(පාරිභා.) නා.ප්‍ර. තරංග ආයාමය මීටර් 50ක් හෝ ඊට අඩු වූ විද්‍යුත් චුම්බක තරංග විශේෂය (=short wave).
කෙටුම්පත
(පාරිභා.) නා. සම්මත කර ගැනීමට පෙර සාකච්ඡාවට භාජන කරනු සඳහා පිළියෙල කරන ලද නීති ව්‍යවස්ථා ආදියේ මුල් පිටපත; දළ සටහන; කටු සටහන.
නා. තනි අතින් මෙහෙය විය හැකි කෙටි මිටකින් ද පැතලි කෙටි තලයකින් ද යුතු කුඩා පොරොවක් බඳු ආයුධය. කෙටේරිය
කෙටේරි සට්ටම
(පාරිභා.) නා. ලෝහ තහඩු නැමීම සඳහා භාවිත කෙරෙන කෙටේරියක හැඩය ඇති උපකරණයක නාමය.
කෙඩෙත්තු
1. වි. වෙහෙසට පත්; විඩාපත්.
2. (කථා.) වි. කෙට්ටු; කෘශ.
කෙණස
නා.ප්‍ර. හැන්ද; භාජනයක අඩංගු දෙය පිටතට ගැනීමට භාවිත කරන උපකරණය.
කෙණ්ඩය
නා. පයෙහි දණහිසට හා වළලු කරට අතර කොටස; ජංඝාව; දඟ.
කෙණ්ඩිය
නා. කෙමියක්, පියන්පතක්, හා අඬුවක් සහිත ව මැටියෙන් හෝ ලෝහයෙන් තැනූ පැන් භාජන විශේෂයක්.
කෙණෙසිඅහර
නා.ප්‍ර. ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින භික්ෂුවකට හැන්දකින් බෙදනු ලැබෙන ආහාර කොටස.
කෙණෙසිය
1. නා. හැන්ද; භාජනයක අඩංගු දිය, තෙල් ආදි ද්‍රව පිටතට ගැනීමට භාවිත කරන උපකරණය.
2. (පාරිභා.) නා. ඉස්සන් වැනි දශපාදික (ඩෙකපොඩා) කවචයන්ගේ ශ්වසන කූටීරය ඔස්සේ ජලප්‍රවාහය යාමනය කිරීම සඳහා පැතලි වී සකස් වුණු දෙවැනි හනුක උපාංගයේ බහිෂ්පාදිකය (=scaphognathite).
කෙණෙහි
ක්‍රි.වි. මොහොතෙහි; ඇසිල්ලෙහි; ක්ෂණයෙහි.
කෙත
1. නා. වී ආදි ධාන්‍ය වගා කිරීම සඳහා පිළියෙල කරන ලද භූමි භාගය; කුඹුර
2. නා. වගා කළ බිම.
3. නා. යම් යම් කටයුතුවලට විෂය වන භූමිය; යෝග්‍ය භූමිය; සුදුසු තැන.
කෙත අක්ඛත
නා. ගොයම් කැපීමේ දී දෙන දානය; අග්‍ර භත්තය.
කෙත්පොත
නා. මිනින්දෝරුවන් විසින් මනිනු ලබන ඉඩම් වල මායිම් ආදිය ලකුණු කොට ඇඳගන්නා සටහන හෝ සටහන් පොත; ක්ෂේත්‍ර සටහන් පොත (=field book).
කෙත්යාය
නා. එකට යාව පිහිටි කුඹුරු පෙළ; කුඹුරුයාය.
කෙනහිලි
නා.ප්‍ර. සිත් රිදවන ඇණුම් බැණුම් සහිත.
කෙන්ද
1. නා. හිසකෙස් වැනි දිගටි සිහින් වූ දෙය; ඉතා සිහින් වූ කම්බියක් වැනි වූ දෙය; සිහින් නූලක් වැනි නාරටිය; තන්තුව.
2. නා. විදුලි බල්බය තුළ ගිනියම් වන අධි ප්රතිරෝධයකින් යුත් සිහින් ලෝහ කම්බිය; සූත්‍රිකාව.
කෙඳිකැටි වලාකුළ
(පාරිභා.) නා. අඩි 25,000 ට ඉහළින් පිහිටි අයිස් කැටවලින් සෑදුණු ඉරි වශයෙන් පිහිටි වලාකුළ (=cirrocumulus cloud).
කෙඳිත්ත
(පාරිභා.) නා. මුලක් අවසාන වශයෙන් බෙදී ඇති කොටස, නහරයක හෝ මස් පිඬුවක ඇති කෙඳි බෙදී ඇති නූලක් වැනි ඉතා කුඩා තන්තුව; ඉතා සිහින් කෙන්ද (=fibril).
කෙඳිබෝග
(පාරිභා.) නා.ප්‍ර. කෙඳි ලබාගන්නා කපු වැනි භෝග වර්ග (=fibre crop).
කෙඳිරිය
1. නා.ප්‍ර. වේදනාව හෝ දුක ඉවසාගත නොහී නඟන අවියත් දුක්මුසු ශබ්දය.
2. නා.ප්‍ර. විරුද්ධත්වය පෑම හෝ ඉල්ලීමක් සඳහා නඟන සිහින් හඬ.
3. නා.ප්‍ර. සිහින් හඬින් කනට නෑසෙන සේ කරන කතා බහ.
කෙඳිවලාකුළ
(පාරිභා.) නා. අඩි 25,000 ත් 35,000 ත් අතර පිහිටි අයිස් කැටවලින් සෑදුණු කෙඳි වශයෙන් පෙනෙන පිහාටු ගතියක් ඇති සියුම් වලාකුළක් (=cirrus cloud).
කෙප්පය
(කථා.) නා. අමූලික බොරුව; මනඃකල්පිතය.