සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 531

කෝණ කනවා

(කථා.) ක්‍රි. සිංහල අවුරුදු උත්සව පවත්වනවා; අවුරුදු චාරිත්‍ර ඉටු කරනවා.

කෝණ විෂ්කම්භය

(පාරිභා.) නා. චතුරශ්‍ර ආදි ජ්‍යාමිතික රූපයක ප්‍රතිමුඛ කෝණ දෙකක් සම්බන්ධ කරන රේඛාව; විකර්ණය; කෝණාක්ෂය.

කෝණංගියා

නා. නාට්‍යවල විහිළු තහළු කරන නැට්ටුවා; බහුබූතයා; බම්මන්නා; කෝලමා.

කෝණදින

(කථා.) නා.ප්‍ර. සිංහල අවුරුදු දිනය; සංක්‍රාන්ති දවස.

කෝණන්කුදියා

(කථා.) නා. පිටිකොන්ද වක ගැසුණු තැනැත්තා; කුදා; කෝණමා.

කෝණම

නා. අමුඩ රෙද්ද; නානකඩ; හිණකඩ.

කෝණමානය

නා. කෝණයක අංශක ගණන මැන බැලීමට භාවිත කරනු ලබන අර්ධකවාකාර උපකරණය.

කෝණය

1. නා. තලයක හෝ පෘෂ්ඨයක දාර හෝ රේඛා දෙකක් හමුවේ දී සෑදෙන මුල්ල/කොන.
2. නා. නටුව හෝ අත්ත හෝ ඒවාට ප්‍රභව වූ කඳ සමඟ සම්බන්ධ වන තැන ඇති මුදුන.
3. නා. දිශාව; පැත්ත.
4. නා. තත් සහිත සංගීත භාණ්ඩයක්; වීණාව.
5. නා. වීණාව වැයීමට ගන්නා උපකරණය; වීණා දුන්න.
6. නා. සෙනසුරා; ශනි.
7. නා. කේන්ද්‍රයක පස්වැන්න හෝ නවවැන්න.
8. නා. සූර්ය වර්ෂයක අවසානයේ සිට අලුත් වර්ෂයක ආරම්භය තෙක් කාලය.

කෝණාධිපති

නා.ප්‍ර. (ජ්‍යෝති.) කේන්ද්‍රයක පස්වැන්න හෝ නවවැන්න අධිපති ග්‍රහයා.

කෝණාවී

නා.ප්‍ර. කුෂ්ට සහ ප්‍රමේහ රෝගීන්ට පථ්‍ය යැයි නියම කරන ලද යව පිටිවලින් සෑදූ කැවිලි විශේෂයක්.

කෝණික

(පාරිභා.) වි. කෝණයක හා සම්බන්ධ; කෝණයක් ආශ්‍රිත (=angular).

කෝණික චලිතය

(පාරිභා.) නා. අචල අක්ෂයක් වටා වස්තුවක චලිතය; බමර චලිතය (=angular motion).

කෝණික ප්‍රවේගය

(පාරිභා.) නා. අක්ෂයක් වටා පරිභ්‍රමණය වන වස්තුවක චලිතයේ ශීඝ්‍රතාව.

කෝණික ලක්ෂ්‍යය

(පාරිභා.) නා. කෝණයක ශීර්ෂය; කෝණ (මුලු) සහිත රූපයක හෝ ඝන වස්තුවක හෝ ශීර්ෂය (මුල්ල) ලෙස ඇති ලක්ෂ්‍යය (=angular point).

කෝණිකය

(පාරිභා.) නා. ක්ෂීරපායින්ගේ හැර වෙනත් බොහෝ පෘෂ්ඨවංශීන්ගේ යටි හනුවෙහි පහළ අපර කෙළවරේ පිහිටි පටල අස්ථියක්.

කෝතූහලය

නා. කුහුල; කුතුහලය.

කෝථය

නා. ශරීරයේ කොටසක් නරක්වී යෑම; ඇඟ මස් කුණුවීම; විද්‍රධිය.

කෝදණ්ඩ

1. නා. දුන්න.
2. නා. ඇස්බැම.
3. නා. ධනු රාශිය.

කෝදුපටිය

නා. (ජ්‍යෝති.) දිග මැනීම සඳහා භාවිත කරන අඟල්, සෙන්ටිමීටර් ආදිය ලකුණු කර ඇති පටිය.

කෝදුව

නා. යාර, අඩි, අඟල් ක්‍රමයට හෝ මීටර ක්‍රමයට දිගමිනුම් ඒකක සටහන් කළ දිග මැනීමේ උපකරණය.

කෝන්

1. වි. බිය සහිත; ලජ්ජාශීලී.
2. වි. වඤ්චාකාර; කුහක.
1. නා.ප්‍ර. වඤ්චනය; කොහොන් ලක්ෂණය.
2. නා.ප්‍ර. කපු නූල් එතූ පන්දු විශේෂයක්.

කෝන්චි

(කථා.) නා.ප්‍ර. විහිළුව; කවටකම; සරදම.

කෝන්තර

1. නා.ප්‍ර. අමනාප; විරුද්ධවාදිකම්; තරහ; වෛර.
2. නා.ප්‍ර. නඩු විභාගයක දී සාක්කි දීමකට පසු ව සාක්කිකරු ගෙන් නීතිඥයකු විසින් අසනු ලබන හරස් ප්‍රශ්න.

කෝඳු

(කථා.) නා.ප්‍ර. පොල් කෙඳි.