සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 590

ගිනි පොලිය

නා. අධික පොලිය; අසාධාරණ පොලිය.

ගිනි පෝරණුව

නා. උළු ගඩොල් ආදිය පිලිස්සීම සඳහා සකස් කළ උදුන.

ගිනි බටය

නා. ගිනි පිඹීමට පාවිච්චි කරන බටය.

ගිනි බඳිනවා

1. ක්‍රි. බඩගින්න ඇති කරනවා; කුසගින්න වඩනවා.
2. ක්‍රි. ගිනි දල්වනවා.

ගිනි බලය

නා. ආහාර පැසවීමේ ශක්තිය; කුසගින්න.

ගිනි බැලුම

නා. ඇතුළේ ඇති වාතය රත් වූ විට අහසට නගින ලෙස තුනී කඩදාසිවලින් තනන ලද විශාල කූඩුව.

ගිනි බිඳිනවා

(කථා.) ක්‍රි. වෙඩි තියනවා.

ගිනි බෝකරනවා

(කථා.) ක්‍රි. ගිනි පත්තු කරනවා; පිඹීමෙන් / දර දැමීමෙන් ගින්න විශාල කරනවා.

ගිනි බෝම්බය

ක්‍රි. ගොඩනැගිලි ආදිය ගින්නෙන් දවා විනාශ කිරීමට හෙලන බෝම්බ වර්ගය.

ගිනි මඩුව

නා. දෙවියන්ගෙන් සෙත් පතා ගිනි පෑගීමෙන් කරන දේවපූජාව.

ගිනි මල

1. (කථා.) නා. තුවක්කුව පත්තු කිරීමට සවිකරන කැප් එක.
2. නා. ගිනි පුපුර.

ගිනි මැලය

නා. මොලවන ලද ගින්න; දැල්වෙන ගින්න.

ගිනි මැස්ස

1. නා. පැලක ගිනි මෙළවීම සඳහා සෑදූ මැස්ස.
2. නා. යටින් ගිනි දල්වා කොප්පරා ආදිය වේළන මැස්ස.
3. (පාරිභා.) නා. ගෙයක ගිනි මොළවන ස්ථානයේ දර ගල් අඟුරු ආදිය දැමීමට සවිකර තිබෙන යකඩ ලී කූරු සහිත රාමු විශේෂයක් (=grate of fireplace).

ගිනි මොළවනවා

ක්‍රි. ගිනි අවුළුවනවා; ගින්දර පත්තු කරනවා.

ගිනි රක්ෂණය

(පාරිභා.) නා. ගින්නෙන් සිදුවන හානි පිළිබඳ ව කරන රක්ෂණය.

ගිනි රොන්

නා.ප්‍ර. ගින්නෙන් පිට වන ගිනිපුපුරු.

ගිනි වඩනවා

ක්‍රි. කුසගින්න වැඩි කරනවා; ජඨරාග්නිය වර්ධනය කරනවා.

ගිනි වතුර

1. නා. විෂබීජ නාශක ද්‍රව්‍යයක්.
2. නා. නයිට්‍රික් අම්ලය.
3. නා. මත්පැන්.

ගිනි වදනවා

ක්‍රි. ගින්නට ඇතුළු වෙනවා; ගින්නට ප්‍රවේශ වෙනවා.

ගිනිකණ

නා. ගිනිදලුව; ගිනිපුපුර; ගිනි පුලිඟු.

ගිනිකණ වැටෙනවා

ක්‍රි. දීප්තිමත් තද ආලෝකයක් ඇසට වැටීමෙන් ඇස තාවකාලික ව නොපෙනී යනවා.

ගිනිකම්

නා.ප්‍ර. පිලිස්සීමෙන් සමහර රෝග සුව කිරීමට යොදා ගන්නා ක්‍රමයක්; අග්නි කර්මය.

ගිනිකාරකම

(කථා.) නා. ශරීරයේ ඇති වන තද දාහ ගතිය.

ගිනිකොන

නා. නැගෙනහිර හා දකුණ යන දෙදිශාව අතර පිහිටි අනු දිශාව.