සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 589

ගිනි කූඩුව

නා. වනගත දඩයක්කාරයන් රාත්‍රී කාලයේ දඩයමේ යන විට දල්වා ගෙන යන පහන් කූඩුවක්.

ගිනි කූර

නා. එක් කෙළවරක වෙඩි බෙහෙත් දවටා ගින්දර දැල්වීම සඳහා උපයෝගී කරගන්නා කුඩා ලී කූර.

ගිනි කෙළිය

1. නා. විනෝදය පිණිස මල් වෙඩි පත්තු කිරීමේ ක්‍රීඩාව.
2. නා. තොවිල් ආදියේදී ගිනිපන්දම් ගෙන නැටීම.
3. (කථා.) නා. උග්‍ර කෝලාහලය; විශාල රණ්ඩුව.

ගිනි ගසනවා

1. ක්‍රි. ගින්දර පත්තු කරනවා; ගිනි මොළවනවා; ගිනි අවුළුවනවා.
2. ක්‍රි. කලකෝලාහල ඇති කරනවා; භේද භින්න කරනවා.

ගිනි ගෙඩිය

නා. භයානක විපත; මහා විනාශය.

ගිනි ගොඩ

1. නා. ගිනි රාශිය; ගිනිමැලය.
2. (රූඪි.) නා. කරදර රාශිය; කම්කටොලු රැස.

ගිනි ජාලාව

නා. ඇවිලෙන ගින්නෙන් ඉහළ නගින මහා ගිනිදැල්ල; ඉහළ නගින ගිනිදැල් සහිත මහ ගින්න.

ගිනි තන

නා. අග්නි ස්ථානය; නිරය.

ගිනි තපිනවා

ක්‍රි. ගින්නෙහි උණුසුමෙන් ඇඟ රත් කර ගන්නවා.

ගිනි තබනවා

1. ක්‍රි. ගිනි තබනවා; යමකට ගිනි අවුළුවනවා.
2. ක්‍රි. දූසමාන ආරංචියක් සේ ඕපාදූප පතුරුවා හරිනවා.

ගිනි දල්වනවා

ක්‍රි. ගිනි මොළවනවා; ගින්දර අවුළුවනවා.

ගිනි දලුව

නා. ගිනිදැල්ල.

ගිනි දෙනවා

1. ක්‍රි. ගිනි තබනවා.
2. ක්‍රි. තුවක්කුව පත්තු කරනවා; වෙඩි තියනවා.
3. (කථා.) ක්‍රි. කරදර හිරිහැර පමුණුවනවා.

ගිනි දෙවියා

නා. ගින්නට අධිපති දෙවියා; අග්නි දේවතාවා.

ගිනි නිවනය

(පාරිභා.) නා. ගින්නක් ඇති වූ විටක එය නිවා දැමීමට තාවකාලිකව යොදාගනු ලබන උපකරණයක්; උපකරණය. ගිනි නිවන

ගිනි නූල

(පාරිභා.) නා. සේව නූල; හෙමින් එක ම වේගයෙන් ගිනි ඇවිල ගෙන යන නූලක්.

ගිනි පට්ටල

නා. වළන් ආදිය දැවීමට සකස් කළ උදුන.

ගිනි පත්තුවෙනවා

1. ක්‍රි. ගින්දර පත්තු වෙනවා; ගිනි ඇවිලෙනවා.
2. ක්‍රි. බලවත් දුක් වේදනාවකට පත් වෙනවා.

ගිනි පවුර

නා. ප්‍රාකාරයක් මෙන් සෑදුණු ගිනි ජාලාව.

ගිනි පස්

(කථා.) නා. ගිනි පෝරණුවල ගල් බැඳීම සඳහා ගන්නා පස් වර්ගය.

ගිනි පාගනවා

ක්‍රි. ගිනි අඟුරු මත ගමන් කරනවා.

ගිනි පිඹිනවා

ක්‍රි. ගිනි ඇවිළවීමට කටින් හෝ නලයකින් පිඹිනවා.

ගිනි පුපුර

නා. ලෝහ, ගල් ආදිය එකට ගැටීමෙන් නගින පුලිඟුව; ගිනි පුලිඟුව.

ගිනි පූජාව

නා. ගිනි දෙවියන් උදෙසා කරන පූජාව; හෝමය.