සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 591

ගිනිගණන

නා. අධික මිල.

ගිනිගන්නවා

1. ක්‍රි. ගිනි අල්ලනවා; ගිනි ඇවිලෙනවා; ගින්නෙන් දැවෙනවා.
2. ක්‍රි. මහත් විනාශයක් ඇති වෙමින් පවතිනවා.

ගිනිගල

1. නා. සිලිකාවෙන් සෑදුණු තද ගල් වර්ගයක්.
2. නා. කතුරු පිහියා ආදී ආයුධ මුවත් තැබීමටත් ලෝහයක නුවුමනා කොටස් සූරා දැමීමටත් පාවිච්චි කරන උපකරණය.

ගිනිගල් තුවක්කුව

(කථා.) නා. ගිනිගල් කැබැල්ලකින් ගිනි උපදවා වෙඩි බෙහෙත්වලට ගිනි ඇවිලවීමෙන් පත්තු කරන තුවක්කුව.

ගිනිගානවා

ක්‍රි. ගිනිදඬු ඝර්ෂණය කොට ගිනි උපදවනවා.

ගිනිගෙය

1. නා. මිනී දැවීමට සාදන දරසෑය; ආදාහනාගාරය.
2. නා. ගිනි දෙවියන් පුදන ගෙය.

ගිනිදණ්ඩ

1. නා.ප්‍ර. ගිනි ගාන දණ්ඩ.
2. නා.ප්‍ර. ගිනි ඇවිලුණු ලීය; ගිනි පෙනෙල්ල.

ගිනිදිගු

නා.ප්‍ර. ගිනිකොන දිශාව.

ගිනිදිගු හිමි

නා.ප්‍ර. ගිනිකොනට අධිපති අග්නි දෙවියා; ගිනිදෙවියා.

ගිනිදු බල

වි. ආහාර දිරවීමේ ශක්තිය අඩු; බඩගිනි නැති.

ගිනිදුම්

1. නා.ප්‍ර. ගින්නෙන් නගින දුම්.
2. නා.ප්‍ර. තුවක්කුව.

ගිනිනිවන හමුදාව

(පාරිභා.) නා. ගිනි නිවීමට පුහුණු කරන ලද භට පිරිස.

ගිනිපත් ගහනවා

(කථා.) ක්‍රි. ගින්න ඇවිලී යෑම සඳහා ගිනි අඟුරුවලට හුළං ගහනවා.

ගිනිපබා

වි. ගිනිඑළිය මෙන් බබළන; ගින්දර මෙන් ප්‍රභාවත් වූ.

ගිනිපුද

නා.ප්‍ර. ගිනි දෙවියන් උදෙසා පවත්වන පූජාව.

ගිනිබත් කරනවා

ක්‍රි. ගින්නට ගොදුරු කරනවා; ගිනි තබා විනාශ කරනවා.

ගිනිමද්දහන

(කථා.) නා.ප්‍ර. තද අවුව සහිත ඉර මුදුන් වේලාව; මධ්‍යාහ්න සමය.

ගිනිමැටි

(පාරිභා.) නා.ප්‍ර. අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන මැටි; ලිප් මැටි.

ගිනිය

නා. සිලිම් 21 ක් වටිනා පැරණි බ්‍රිතාන්‍ය කාසියක්.

ගිනියම

වි. අධික ලෙස රත් වූ; තදින් උෂ්ණාධික වූ; උණුසුම් වූ.
1. නා. උෂ්ණත්වය; ශරීරයේ ඇති උණුසුම; දැවිල්ල; දාහය.
2. නා. අග්නි කර්මය; පිළිස්සීමෙන් කරන වෛද්‍ය කර්මය.
3. නා. උපදංශ රෝග විශේෂයක්.

ගිනියම්කාරයා

(කථා.) නා. ඉක්මනට කෝපය ඇවිස්සෙන තැනැත්තා.

ගිනියවට

නා. ගිනියම් වූ යකඩ ගුළිය.

ගිනිරාමෙට

ක්‍රි.වි. වහ වහා; ගිනිසැරේට; කඩිනමින්.

ගිනිරොටුව

(කථා.) නා. ගිනි ගොඩකින් දුම්ගුලි සමග ඉහළට විහිදෙන ගිනි ගුළිය.