සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 592

ගිනිලනවා

ක්‍රි. ගිනි තබනවා; පුච්චනවා.

ගිනිවට

නා. ගිනි ගුළිය; ගිනි බෝලය.

ගිනිවර

නා.ප්‍ර. ගින්නේ තැවීම; රත් කිරීම.

ගිනිවරණ

(පාරිභා.) වි. සාමාන්‍ය තත්ත්වය යටතේ ගිනි නොගන්නා (=fireproof).

ගිනිවළ

නා. දැවෙන ගිනි අඟුරුවලින් යුත් වළ.

ගිනිවාරක

වි. ගිනි වළක්වන; ගින්නට නොදැවෙන.

ගිනිවැටිය

(පාරිභා.) නා. පහනක හෝ තෙල් උදුනක ගිනි දැල්වෙන තිරය (=burner).

ගිනිවිත

නා. ගිනිකබල.

ගිනිවිස

නා. ගින්නක් මෙන් ශරීර දාහය ඇති කොට මරණයට පත් කරන විෂ; අග්නි විෂ.

ගිනිවෙඩි

නා.ප්‍ර. පැරණි සිංහල වෙඩි වර්ගයක්.

ගිනිවෙස්

1. නා.ප්‍ර. ගින්නට පුද පූජා කරන තැනැත්තා.
2. නා.ප්‍ර. ඊශ්වර දෙවියා.

ගිනිසිළ

නා. සුළියක් මෙන් ඇවිළී නගින ගිනිදැල් සමූහය; ගිනිජාලාව.

ගිනිසිළුව

නා. ගිනි දලුව; අග්නි ශිඛාව.

ගිනිසුරා

නා. ගිනි දෙවියා.

ගිනිසෙණ

නා. ගිනිගෙන දිලිහෙන විදුලියත් සමග පොළොවට පාත් වන අසනිය.

ගිනිසොඬ නළය

(පාරිභා.) නා. ගිනි නිවීම සඳහා ජලය ඉසීමට උපයෝගී කර ගන්නා නළ වර්ගයක් (=firehouse).

ගිනිහල

නා. ගිනි තැපීම, හුණු පැන් නෑම ආදි කටයුතු සඳහා වෙන් වූ ගෙය.

ගිනිහලඹ

(කථා.) නා. පත්තිනි හලඹ.

ගිනිහෙළනවා

ක්‍රි. ගිනි උපදනවා.

ගිමන

1. නා. ග්‍රීෂ්මය; උෂ්ණය.
2. නා. ගමන් බිමන් හා වැඩපල ආදියේ යෙදීමේ දී හටගන්නා විඩාව.

ගිමන් අරිනවා

1. ක්‍රි. ග්‍රීෂ්මය නිවා ගන්නවා; ගිම් නිවනවා.
2. ක්‍රි. ශරීරයෙහි මහන්සිය නැති කරගන්නවා.

ගිමන්හල

නා. මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසල කරවන ලද විශ්‍රාම ශාලාව; අම්බලම.

ගිම්

1. නා.ප්‍ර. ග්‍රීෂ්මය; උෂ්ණය; රස්නය.
2. නා.ප්‍ර. ග්‍රීෂ්ම කාලය; ගිම්හාන ඍතුව.

ගිම් නිවනවා

ක්‍රි. ග්‍රීෂ්මය නිවනවා; මහන්සිය සංසිඳුවනවා.

ගිම්ඉතු

නා.ප්‍ර. ගිම්හාන සෘතුව.