සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 637

චිණ්හය

නා. ලකුණ; ලාංඡනය; චිහ්නය.

චිත

වි. ගොඩ ගැසූ; රැස් කළ.

චිතකය

නා. මළ සිරුරක් දැවීම සඳහා තනන දරසෑය.

චිතකාග්නි

[චිතක + අග්නි]
නා.ප්‍ර. චිතකයෙහි දැල්වෙන ගින්න; දර සෑයෙහි ගින්න.

චිත්ත ඒකාග්‍රතාව

නා. සිතෙහි එක් අරමුණක් ඇති බව; සිතෙහි එකඟ බව; සමාධිය.

චිත්ත කම්මඤ්ඤතාව

නා. (අභි.) සිතේ කර්මණ්‍යභාවය; සිතේ පුණ්‍ය ක්‍රියාවට ඔරොත්තු දෙන බව.

චිත්ත ක්‍රියාව

නා. සිතින් කරන ක්‍රියාව; මෙසේ මෙසේ කරමි යි සිතින් ව්‍යවස්ථා කිරීම.

චිත්ත ඛේදය

නා. සිතේ දුක; සිත් වේදනාව; සංවේගය; කනගාටුව.

චිත්ත ගතිය

නා. සිතේ ආකාරය; සිත්හි ස්වභාවය.

චිත්ත ග්‍රහණය

නා. සිත් ගැනීම; සිත් ඇද ගැනීම; සිත දිනා ගැනීම.

චිත්ත දමනය

නා. සිත සංවර කර ගැනුම; සිත පාලනය කර ගැනීම.

චිත්ත ධෛර්යය

නා. සිතේ උපදින වීර්යය; සිතේ දිරිය.

චිත්ත නියමය

නා. (අභි.) රූපාදි අරමුණු චක්ෂුරාදි ඉන්ද්‍රියවල ගැටුණු විට ක්‍රමාණුකූල ව ඇති වන සිත් පරම්පරාව පිළිබඳ නියමය.

චිත්ත නිරෝධය

නා. සිත නිරුද්ධ වීම; නිර්වාණ අවබෝධයේ ලක්ෂණයක්.

චිත්ත පරම්පරාව

නා. (අභි.) පිළිවෙළින් පහළ වන සිත්පෙළ; චිත්තවීථිය.

චිත්ත පර්යන්ත

වි. සිත කෙළවර කොට ඇති.

චිත්ත ප්‍රණිධිය

නා. සිතේ පැතුම; ප්‍රාර්ථනය.

චිත්ත ප්‍රවාහය

නා. වේගයෙන් ගමන් කරන සිතුවිලි සමූහය.

චිත්ත ප්‍රීතිය

නා. සිතේ සතුට; චිත්ත සන්තුෂ්ටිය.

චිත්ත පීඩාව

නා. සිතට ඇතිවන දුක් වේදනාව; සිත පෙළීම.

චිත්ත භ්‍රමය

නා. සිහි විකල් වීම.

චිත්ත වික්ෂේපය

නා. සිත අරමුණෙන් ඉවතට ඇද ගැනීම; සිතේ පෙරළිය; සිත ව්‍යාකූලත්වයට පැමිණීම.

චිත්ත විඝාතය

නා. සිතේ වෙහෙස; චිත්ත පීඩාව.

චිත්ත විපර්යාසය

1. (අභි.) නා. මුළාව නිසා සිත වැරදි අතට පෙරළීම.
2. නා. සිත වෙනස් වීම.