සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 713

තපෝ තේජස

නා. තවුස් තෙද; තපස් රැකීමෙන් උපදවා ගත් බලය.

තපෝගුණය

නා. ලෝභාදි කෙලෙසුන් තවන ගුණය.

තපෝගෘහය

නා. තපස් රකින්නාගේ වාසස්ථානය; තවුස්පැල; පන්සල.

තපෝදර

නා.ප්‍ර. (ක්‍රිස්ති.) තාපස ජීවිතය වැලඳ ගත් තැනැත්තා; පැවිදි සහෝදරයා.

තපෝධන

වි. තපසෙහි නියැළී; තවුස්දම් රකින.
නා.ප්‍ර. තවුස්දම් රකින්නා; තාපසයා.

තපෝධර්මය

නා. තවුස්දම; තාපස ධර්මය.

තපෝනිධාන

වි. තපසට නිධාන වූ; තපස නිදන් කොට හෝ තැන්පත් කොට ඇති.

තපෝනිශ්‍රිත

වි. තපස ඇසුරු කළ; තපසෙහි ඇලුණ; තවුස්දම් රැකීමෙහි යෙදුණු.

තපෝභූමිය

නා. තාපසභාවය; තපස්බව.

තපෝයඥය

නා. තවුස්කම් පිරීමෙන් කරන යාගය; තපසින් කරන දේව පූජාව.

තපෝලීලාව

නා. තවුසකුගේ විලාසය.

තපෝලෝකය

නා. පතඤ්ජලි දර්ශනයේ දැක්වෙන පඤ්චවිධ ස්වර්ගලෝකවලින් එකක්.

තපෝවත

නා. තාපසයකුගේ පැවැත්ම; තපස් ස්වභාවය.

තපෝවනය

නා. තවුසන් වසනා වනගත පෙදෙස; අසපුව; තාපසාරණ්‍යය; ආශ්‍රමපදය.

තපෝව්‍රතය

නා. තවුස්වත; තාපස චර්යාව.

තපෝවෘද්ධ

වි. තපසින් වැඩිහිටි; ශීලයෙන් ජ්‍යේෂ්ඨ.

තපෝසංරක්ෂණය

නා. තපස් රැකීම; තාපස ශීලය ආරක්ෂා කිරීම.

තබනවා

1. ක්‍රි. රඳවනවා; පිහිටුවනවා; ස්ථාපනය කරනවා.
2. ක්‍රි. ඉතිරි කරනවා; ශේෂ කරනවා.

තබව

වි. තද්භව හෙවත් මාගධ සංස්කෘත ආදි භාෂාවලින් භින්න වූ.
නා. එසේ භින්න (සිංහල) පද.

තම

1. නා.ප්‍ර. අඳුර; අන්ධකාරය; තිමිර; තමස; කළුවර.
2. නා.ප්‍ර. මෝහය; මුළාව; අවිද්‍යාව.
3. නා.ප්‍ර. සාංඛ්‍ය දර්ශනයට අනු ව සියලු ම ජීවීන්ගේ ප්‍රභවයට හේතු වන ගුණත්‍රයෙන් එකක්; තමස් ගුණය.
4. නා.ප්‍ර. රාහු ග්‍රහයා.
5. නා.ප්‍ර. ශබ්දය.
6. නා.ප්‍ර. කැමැත්ත.
7. නා.ප්‍ර. තඹ ලෝහය.
සර්ව. අන්‍යයකූ නොවන තැනැත්තා, ආත්මවාචී පුද්ගලයා.
ප්‍රත්‍ය. (ව්‍යාක.) දෙකකට වැඩි සංඛ්‍යාවක් අතුරින් එකක වැඩි හෝ උසස්බව ඉස්මතු කර දක්වන අතිශයාර්ථවාචී තද්ධිත ප්‍රත්‍යය.

තමරැස්

නා.ප්‍ර. අඳුරු සමූහය; අන්ධකාර රාශිය; දැඩි අඳුර; තමරිළු.

තමරුපු

නා.ප්‍ර. සූර්යයා; හිරු.

තමස

1. නා. අන්ධකාරය.
2. (භා.දර්ශන) නා. හින්දු දර්ශනය අනු ව (ලොවෙහි) නිර්මිත සෑම වස්තුවක් ම කෙරෙහි ඇතැයි සලකන සත්ව, රජස්, තමස් යන ගුණත්‍රයෙන් තුන්වැන්න; තමස්ගුණය.

තමස් අන්ධතාව

(පාරිභා.) නා. රාත්‍රියෙහි දී හා අඳුරෙහි දී ඇස් පෙනීම අඩුකම (=night blindness).