සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 714

තමස් ගුණය

නා. අවිද්‍යාව, මුග්ධබව, මුළාව, ආශාව, මානය, ශෝකය, ජඩත්වය ආදියට හේතු වූ ගුණය.

තමස්විනිය

නා. රැය; රාත්‍රිය; නිසා කල.

තමසාවෘත

[තමස් + ආවෘත]
වි. අඳුරින් වැසුණු; අන්ධකාරයෙන් ආවරණය වූ.

තම්

නා.ප්‍ර. තඹ (=copper).

තම් දුළුල්ලා

නා. තඹවන් ජටාවක් ඇත්තා; මහදෙවියා; මෙහෙසුරා; ඊශ්වරයා.

තම්බ

1. වි. රත් පැහැයට හුරු දුඹුරුවන්.
2. වි. මඳ රත් පැහැති; තාම්‍ර වර්ණ.
1. නා.ප්‍ර. මඳ රත් පැහැය; තාම්‍ර වර්ණය.
2. නා.ප්‍ර. ලෝහ වර්ගයක්; තඹ.
3. නා.ප්‍ර. ඇත් කුල දහයෙන් එකක්.

තම්බනඛතා

නා.ප්‍ර. (බුදුන්වහන්සේගේ) අසූ අනුව්‍යඤ්ජනයන්ගෙන් එකක්; රක්තවර්ණ වූ නිය ඇතිබව.

තම්බනය

නා. භූතයන් හිර කිරීම; යකැදුරන් විසින් ගෙදරකට හෝ පුද්ගලයකුට හෝ වැහුණු අමනුෂ්‍යයකු අල්ලා හිර කිරීම.

තම්බනවා

1. ක්‍රි. උණු දියෙන් හෝ හුමාලයෙන් තැවීමට භාජන කරනවා.
2. ක්‍රි. උයනවා; පිසිනවා.
3. ක්‍රි. (ප්‍රකෘති ශක්තිය) හීන කරනවා; මර්දනය කරනවා; බාල කරනවා; අඩපණ කරනවා.
4. ක්‍රි. රවටනවා; මුළා කරනවා.

තම්බපණ්නි

නා.ප්‍ර. විජය කුමරා ලක්දිවට ගොඩ බැස්ස ස්ථානය.

තම්බපත

නා. තඹ කොළය; තඹ තහඩුව; තඹ පත.

තම්බලෝහ

නා. තඹ නම් ලෝහ වර්ගය.

තම්බි

1. නා.ප්‍ර. ද්‍රවිඩ භාෂාවෙහි බාල සහෝදරයාට ආමන්ත්‍රණය කරන වචනය; මල්ලී.
2. නා.ප්‍ර. මරක්කල හෙවත් මුස්ලිම් ජාතිකයා.

තම්බිරානේ

නා.ප්‍ර. දෙවියෝ; දෙවියන් වහන්සේ.

තම්බෝරුව

නා. වාද්‍ය භාණ්ඩයක නාමය; කුඩා බෙර විශේෂයක්.

තම්මැට්ටම

නා. අවනද්ධ වර්ගයට අයත් පැරණි වාද්‍ය භාණ්ඩයක නාමය; පොකුරු බෙරය; සුරප්පට්ටුව.

තමා

සර්ව. අන්‍යයකු නොවන තැනැත්තා; වෙනත් කෙනකු නොවන්නා; ආත්මවාචී පුද්ගලයා.

තමි

නා.ප්‍ර. රැය; රාත්‍රිය; නිසාකල; තමිය.

තමිඳු

[තම + ඉබු]
නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා; සිසි.

තමිස්‍ර

නා.ප්‍ර. අඳුර; අන්ධකාරය; කළුවර; තිමිර.

තමුන්නාන්සෙ

සර්ව. යුෂ්මතාණෝ; ඔබතුමාණෝ.

තමෝගුණය

1. නා. (භා. දර්ශන) තමස් ගුණය.
2. නා. අඳුර; අන්ධකාරය; තිමිර.
3. නා. මෝඩකම; මෝහය; මුළාව.

තඹ

වි. රත්පැහැයට හුරු දුඹුරුවන්; මඳ රත් පැහැති.
1. නා.ප්‍ර. රතට හුරු දුඹුරුපාට ඇති ලෝහමය මූලද්‍රව්‍යයක් (=copper).
2. නා.ප්‍ර. මද රත්පැහැය.
3. නා.ප්‍ර. ඇතුන් බඳින ටැඹ; කණුව.

තඹ කුලය

නා. ඇත් කුලයක නාමය; තාම්‍රකුලය.