සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 715

තඹ දොයිතුව

(කථා.) නා. ලක්දිව භාවිත වූ ඕලන්ද කාසියක්; සතයකින් හතරෙන් පංගුවක වටිනාකම ඇති කුඩා ම තඹ කාසිය.

තඹ පයිසය

නා. ඉන්දියානු මුදල් ව්‍යවහාරයෙහි වූ ඒකකයක්; තුට්ටුව හෙවත් සත එකහමාරේ කාසිය.

තඹ පිච්චිය

නා. තඹවලින් සෑදූ කාසිය; සතයකින් හතරෙන් එකක් වටිනා තඹ කාසිය.

තඹ රැවුල

නා. තඹ පැහැති රැවුල; දුඹුරු පාට රැවුල.

තඹ වතුර

නා. ගලා ගෙන යන (අලුත්) වතුර; බොර පැහැති ව ගලන ගංවතුර; තාම්‍ර වණ ජලෞඝය.

තඹ සන්නස

නා. තඹ තහඩුවක ලියා හස් තබා දෙනු ලබන රාජකීය ලේඛනය.

තඹ සල්ලිය

1. නා. සත භාගයක නොහොත් අලුක්කාල් දෙකක නොහොත් තුට්ටුවෙන් තුනෙන් එකක වටිනාකම ඇති කුඩා තඹ කාසිය; පාර්දින් එකෙන් බාගය.
2. නා. අගයක් නැතිදෙය.

තඹක්ක

නා. ලෝහ වර්ගයක්.

තඹතුට්ටුව

නා. සත එකහමාරයක් වටිනා තඹෙන් සාදන ලද කාසිය.

තඹදැළි

නා.ප්‍ර. තඹ පැහැගත් රැවුල.

තඹදිය

1. නා.ප්‍ර. තඹ ලෝහය උණුවීමෙන් ඇති වන දිය.
2. නා.ප්‍ර. තඹ පැහැති වතුර; අලුත් වතුර.

තඹදුළුල්

නා.ප්‍ර. මෙහෙසුරා; ඊශ්වර දෙවියා.

තඹපට

නා.ප්‍ර. තඹවලින් සෑදූ පට; තඹ තහඩුව.

තඹපට විදමන

නා. තඹපට හෝ තඹතහඩුව සිදුරු වන සේ දුන්නෙන් විදීම.

තඹපත

1. නා. තඹ කොළය; තඹ තහඩුව.
2. නා. තඹ තහඩුවක ලියන ලද ලේඛනය; තඹ සන්නස.

තඹපලු

1. නා.ප්‍ර. තඹපාට පත්‍ර; ළා දලු; රතු දලු; ළපටි කොළ; තාම්‍ර පල්ලව.
2. නා.ප්‍ර. තඹපැහැය; රතුපාට.

තඹපස්

නා.ප්‍ර. තඹ සෑදීමට ගන්නා පස්; තඹ මිශ්‍ර පස්; ඔක්සයිට් හෝ සල්ෆයිඩ් හෝ ඇති පස්.

තඹපිල්

නා.ප්‍ර. පොල්ගස.

තඹමල

නා.ප්‍ර. තඹවලින් සෑදූ ලෝහ භාජන ආදියෙහි හටගන්නා මල; තඹ මතුපිට තට්ටුවක් මෙන් බැඳෙන කොළපාට ද්‍රව්‍යය.

තඹර

1. නා.ප්‍ර. නෙළුම් මල; පද්මය; කමල; සියපත; තාමරසය.
2. නා.ප්‍ර. තඹ පැහැය; රතුපාට.

තඹර වනය

නා. බහුල ව නෙළුම් වැවෙන තැන; පියුම් වනය.

තඹරකර

නා.ප්‍ර. තඹර කරවන්නා හෙවත් පිපීමට පිහිට වන්නා වන සූර්යයා.

තඹරකරකුල

[තඹර + කර + කුල]
නා.ප්‍ර. රිවි කුල; සූර්ය වංශය.

තඹරත්

[තඹර + අත්]
නා.ප්‍ර. හිරු; සූර්යයා; රිවි; දිනකර.