සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 807

දහන කුටීරය

(පාරිභා.) නා. ඉන්ධන කුටීරය; වාෂ්පයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක හෝ අභ්‍යන්තර දහන යන්ත්‍රයක හෝ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තාපය දැනවීම පිණිස ඉන්ධන දැවෙන කාමරය.

දහන තාපය

(පාරිභා.) නා. දැවීමට අවශ්‍ය උෂ්ණත්වය.

දහනග

නා.ප්‍ර. වී ඇටවල බූව.

දහනය

1. නා. ගින්න; අග්නිය; වහ්නිය.
2. නා. දැවීම; ගිනිබත් කිරීම.
3. නා. ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ශරීරයෙහි යම් යම් ස්ථාන පිලිස්සීම; ගිනියම් කළ සැත් උපකරණයකින් දැවීම.
4. (පාරිභා.) නා. දැවීම; වායු, ඝන, ද්‍රව යන කවර හෝ ඉන්ධනයක් (උෂ්ණයක්, බොහෝ විට, ආලෝකයක් උපදවමින්) හුදු අම්ලකර හෝ අම්ලකර සංයෝගයක් වන පරිදි දැවීම.

දහනවා

1. ක්‍රි. කෝප වෙනවා; කිපෙනවා.
2. ක්‍රි. බැහැර කරනවා; දුරු කරනවා.

දහන්

වි. ධ්‍යානය සම්බන්ධ වූ; ධ්‍යානය පිළිබඳ වූ.
1. නා.ප්‍ර. ධ්‍යානය.
2. නා.ප්‍ර. ධාන්‍ය.
3. නා.ප්‍ර. ගින්න.

දහන්දැල

නා.ප්‍ර. ඇවිලෙන ගින්න; ගිනිජාලාව.

දහන්සැරි

නා.ප්‍ර. වාතය; සුළඟ; පවන.

දහන්හූ

නා.ප්‍ර. ධ්‍යාන නූල; පුන නූල; යඥ සූත්‍රය.

දහනා

නා.ප්‍ර. මුහුද; සමූද්‍රය.

දහනැඹුල

1. නා. භස්ම කරන ලද ද්‍රව විශේෂයක්; කාඩි.
2. නා. හාල්පානු.

දහනේ

නා.ප්‍ර. සමානතාව; සදෘශබව.

දහපට්ටම

(කථා.) නා. උගත්කම කෙරෙහි පවරන උපාධි හෙවත් තනතුරු දහය.

දහපේරුව

(කථා.) නා. පරපුරු දහය; මවුපිය දෙපාර්ශවයේ පරම්පරා දහය.

දහම

1. නා. ත්‍රිපිටක ධර්මය; බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම.
2. නා. නව ලොව්තුරා දහම; සතර මග, සතර ඵල: නිවන යන ධර්ම නවය.
3. නා. දශරාජ ධර්මය.
4. නා. කුශල ධර්ම දාන, ශීලාදි පුණ්‍ය කර්ම.
5. නා. දැහැමි බව, ධර්මිෂ්ඨතාවය.
6. නා. වස්තුවක ස්වභාවය.
7. නා. ශ්‍රේෂ්ඨ තත්ත්වය; උත්තරීතර බව.
8. නා. සංස්කාර ධර්ම.

දහම් පඬුර

1. නා. ධර්මයට පූජා වශයෙන් දෙන දෙය.
2. නා. පඬුරක් වශයෙන් දෙන ධර්ම පුස්තකය.

දහම් පලඟ

නා. දහම් දෙසීම සඳහා භාවිත කරන ආසනය; ධර්ම පර්යඞ්කය; ධර්මාසනය.

දහම්කෙළි

නා.ප්‍ර. ධර්ම ක්‍රීඩාව; නිතර පින් කිරීම.

දහම්ගේ

නා.ප්‍ර. ධර්ම පුස්තකාලය.

දහම්නය

නා.ප්‍ර. ධර්ම ක්‍රමය; ධර්ම න්‍යාය.

දහම්පසක්නා

නා.ප්‍ර. පැරණි සිංහල රජුන් කල ශාසනික කටයුතු භාර වූ ප්‍රධාන නිලධාරියා; ධර්මමහාමාත්‍ය.

දහම්සර

නා.ප්‍ර. දම්දෙසුම් හඬ.

දහම්සරණ

1. නා.ප්‍ර. තුන් සරණයේ දෙවැන්න; දහම පිහිට කොට ගැනීම හා ඇදහීම; ධර්මය තමාට රක්ෂා ස්ථානයකැයි පිළිගැනීම.
2. නා.ප්‍ර. එනම් ග්‍රන්ථය.

දහමිසුරු

වි. දහමට ඉසුරු වන; ධර්මයට අධිපති.