සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 808

දහමොද

නා. ධර්ම නැමැති ඕජස: ධර්මා මෘතය.

දහයියා

නා. වී ආදි ධාන්‍යවල කොටා අස් කරනු කරනු ලබන පිටපොත්ත; වී පොතු.

දහර

1. වි. වයසින් අඩු; බාල වියෙහි වූ; ළාබාල; ළපටි; ළමා.
2. වි. තරුණ; නව යොවුන්.
3. වි. අලුත්; නව.
1. නා.ප්‍ර. බාලයා; නව.
2. නා.ප්‍ර. තරුණයා.
3. නා.ප්‍ර. වේගයෙන් ඇද හැලෙන හෝ ගලායන දිය පාර; විහිද යන කාන්තිය; ධාරාව.
4. නා.ප්‍ර. වැස්ස.
5. නා.ප්‍ර. අශ්වයකුගේ ගමන් වේගය.
6. නා.ප්‍ර. පිඹුරා.

දහර පස

නා. අශ්වකුලේ ගමන් වේග පහ; ධෝරිත, වල්ගිත, ප්ලුත, උත්තේජිත, උත්තේරිත.

දහර මණ්ඩිය

(කථා.) නා. එක් පයක් අනික් පයට උඩින් සිටින සේ හිඳ ගන්නා විලාසය; අරමිණිය ගොතා සිටීම.

දහරගල්ල

නා. ධාරාවක් මෙන් බිම වැටී දිග ඇදීම; දහරක් මෙන් වැතිර ගැනීම; වැදීමේ ක්‍රමයකි.

දහරලුව

(කථා.) නා. ඉඩෝරය; පෑවිල්ල; නියඟ.

දහල්

නා.ප්‍ර. කදෝපැණියා; කනමැදිරියා.

දහවට

නා. පටපිළි.

දහවල

නා.ප්‍ර. දිවා කාලය; දවාල.

දහවල්ල

1. නා. රෙදිසළු ඇතිරිලි ආදියක වාටිය.
2. නා. (සැරසිලි) වාටියක්, දාවල්ලක් සහිත වස්ත්‍රය.

දහස්පත

නා. නෙළුම් මල.

දහසැස්

නා.ප්‍ර. දහස් ඇස් ඇත්තා; ශක්‍රයා.

දහළු

නි. සමාන වූ; වැනි.
නා.ප්‍ර. පටවස්ත්‍ර.

දහ්‍යමාන

වි. දැවෙමින් පවතින; දැවෙන.

දහිර වාට්ටුව

1. (කථා.) නා. මරණාසන්න රෝගීන් රඳවා තැබීමට වෙන් කළ වාට්ටුව.
2. නා. අතිශයින් අබලන් බවට පත් රථය.

දහුර

(කථා. උඩ.) නා.ප්‍ර. කරේ දාගැනීමට ගනු ලබන රෙදිකඩ.

දළ

1. වි. ස්ථිර.
2. වි. මහත් වූ; විශාල.
3. වි. දැඩි; දෘඪ; අධික; බලවත්.
4. වි. තුනී නැති: නොසියුම්; රළු; ගොරෝසු; ගොරහැඩි.
5. වි. මුළු; සම්පූර්ණ.
6. වි. නොනිමි; අසම්පූර්ණ.
7. වි. අඩමාන; අනුමාන.
1. නා. හැඩපලු ගෙතුණු කෙස්වැටිය; කැරලි ගැසුණු කේශකලාපය; ජටාව.
2. නා. නළල; ලලාටය.
3. නා. ක්‍රීඩාවල යෙදීම; ක්‍රීඩා කාර්යය.
4. නා. මෙවුන්දම.
5. නා. ලෝභය; තණ්හාව.

දළ ජාතික නිෂ්පාදිතය

නා. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ දී රටත් එයට හිමි සියලුම සාධක උපයෝගී කරගෙන නිපදවනු ලබන සියලුම භාණ්ඩ හා සේවාවන්ගේ අගය.

දළ තල්මහ

නා. ආක්ටික් මුහුදු පෙදෙසෙහි වෙසෙන දිග දළයක් ඇති තල්මසා.

දළ ලාභය

නා. ව්‍යාපාරිකයා යෙදූ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන මුළු ලාභ ප්‍රමාණය (=gross profit).

දළඋළිඳු

නා. ජටායෙහි උළිඳු හෙවත් සඳ දරන තැනැත්තා වන ඊශ්වර දෙවි.

දළකඩ

1. නා. ඇත් දත; හස්ති දන්තය.
2. නා. ගොරෝසු වස්ත්‍රය.

දළකඩකම්

නා.ප්‍ර. ඇත් දළයෙන් කරන කර්මාන්ත; ඇත්දත් වැඩ.