සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 824

දික්

වි. කෙටි නොවූ; ලුහුඬු නොවන; දිග.
1. නා.ප්‍ර. දිසාව; පැත්ත.
2. නා.ප්‍ර. අහස.

දික් ඇදය

නා. සිංහලයේ "ඈ" ශබ්දය ව්‍යංජනාරූඪ හැඳින්වීම පිණිස යොදනු ලබන සංකේතය; දීර්ඝ ඇලපිල්ල.

දික් ඇලපිලි ගැටය

නා. සිංහලයේ ව්‍යංජනාරූඪ "ඎ" වර්‍ණය හැඳින්වීම පිණිස යොදනු ලබන සංකේතය "ෲ".

දික් ඉස්පිල්ල

නා. සිංහලයේ ව්‍යංජනාරූඪ "ඊ" ස්වර ශබ්ද හැඳින්වීම පිණිස සංකේතය; දීර්ඝ ඉස්පිල්ල.

දික් ඕසය

නා. ගීත තාල විශේෂයක්.

දික් පාපිල්ල

නා. සිංහලයේ ව්‍යංජනාරූඪ "ඌ" ස්වරය හැඳින්වීම සඳහා යොදන ( ූ ,ෑ) රූප.

දික්කසාදය

නා. (ආවාහ විවාහයට පත්) අඹු සැමි දෙදෙනකු නීත්‍යනුකූල ව වෙන් වීම; විවාහ නීත්‍යනුකූල ව අවලංගු කිරීම; කසාදය කටුගා දැමීම.

දික්ගස්සනවා

(කථා.) ක්‍රි. පමණට වඩා කාලය ගන්නවා; වැඩක් නිමවීම ප්‍රමාද කරනවා.

දික්ගැබ

නා. සිවුරක දික් අතට අල්ලන රෙදි තීරුව.

දික්තටය

නා. අහසෙහි කෙළවර; අම්බරාන්තය.

දික්දාහය

නා. විවිධ දිශාවෙන් නැගෙන දුරොටු මුසු වීමෙන් අහසෙහි ඇති වන කිලිටි පෙනුම.

දික්දැරැඩි කරනවා

ක්‍රි. කල් දමනවා; ප්‍රමාද කරනවා.

දික්දෑවා

නා. බඩගා යන සතා; සර්පයා; උරගයා; දීර්ඝ ජාතිකයා.

දික්පාතය

නා. දිශා දර්ශකයෙන් මාලිමාවෙන් දක්වන උතුරත් සැබෑ උතුරත් අතර තිබෙන කෝණය.

දික්භාගය

නා. දිශාව; පැත්ත.

දිග

1. නා. කාලය හෝ පරතරය අනු ව පවතින දුර; එක් සීමාවක සිට තවත් සීමාවක් තෙක් පවතින දුර; ආයාමය.
2. නා. මාත්‍රා දෙකක් ඇති අකුරු; දීඝාක්ෂර
3. නා. දිශාව; දිශාභාගය.

දිග අරිනවා

1. ක්‍රි. දුවන්නට සලස්සනවා; එළවනවා.
2. ක්‍රි. වක් වූ දෙයක් කෙළින් කරනවා; දික් කරනවා.
3. ක්‍රි. හකුළා හෝ වසා තිබූ දෙයක් විවෘත කරනවා.
4. ක්‍රි. නොපිපිණු මලක් පුබුදු කරනවා; විදහනවා.
5. ක්‍රි. තුනී කරනවා; අතුරනවා.

දිග ඇදෙනවා

1. ක්‍රි. ශරීරය දිගහැර සිටිනවා; වැතිරෙනවා.
2. ක්‍රි. වැඳීම සඳහා දෙඅත් හිස තබා මුනින් වැටී දිගාවෙනවා.

දිග-දුර

නා. අනාගතය; ඉදිරි කාලය; ඈත.

දිගංශ රේඛාව

(පාරිභා.) නා. සියලුම මධ්‍යාහ්න රේඛා එක ම කෝණයක් ඇති ව ඡේදනය වන රේඛාව (=rhumb line).

දිගංශය

1. (පාරිභා.) නා. රේඛාවක් හා ආකාශ වස්තුවක් අන්තර්ගත තිරස් තලය හා මධ්‍යහ්න රේඛා තලයක් අතර ඇති කෝණය (=azimuth).
2. නා. නිශ්චිත චිහ්නයක සිට ඕනෑ ම චිහ්නයක් කොම්පාසුවක ආධාරයෙන් (අංශකවලින්) මැන ගත හැකි පරිදි පිහිටා ඇති දිශාව (=bearing).

දිගටි

වි. දිගට හුරු; පළලට වඩා දිග ඇති.

දිගත

නා. දිශා කෙළවර; දිශා ඉම; දුර බැහැර ප්‍රදේශය; දිශාන්තය.

දිගදෑ

නා.ප්‍ර. සර්පයා; උරගයා.