සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 863

දෘඪාංපේක්ෂාව

නා. දැඩි බලාපොරොත්තුව.

දෘඪාඞ්ග

නා.ප්‍ර. හැඩි දැඩි ශරීරාංග; ස්ථූල වූ ශරීර අවයව.

දෘශ්‍ය

වි. පෙනෙන; දැකිය හැකි; දර්ශන ගෝචර.

දෘශ්‍ය ආයාත

(පාරිභා.) නා.ප්‍ර. දැකිය හැකි හා කිරීම් මැනීම් ආදියෙන් ගිණිය හැකි ආනයන භාණ්ඩ.

දෘශ්‍ය කලාව

නා. නැරඹීමෙන් රස විඳිය හැකි කලා මාධ්‍යය; නාට්‍ය, චිත්‍ර, මූර්ති, ගෘහ නිර්මාණ ආදි කලා මාධ්‍යය.

දෘශ්‍ය ක්ෂිතිජය

(පාරිභා.) නා. අහසත් පොළවත් යා වෙන්නාක් මෙන් පෙනෙන කවාකාර රේඛාව; සැබෑ නොවන ක්ෂිතිජය; දෘශ්‍ය දිශා මණ්ඩලය (=visible horizon).

දෘශ්‍ය ක්ෂේත්‍රය

(පාරිභා.) නා. දෘෂ්ටිය හෝ ආලෝකය පිළිබඳ උපකරණවල ඇස තබන කොටස මත දිස්වන ප්‍රතිබිම්බය ඇතුළත් වන ප්‍රදේශය; දෘෂ්ටි ප්‍රදේශය (=field of view).

දෘශ්‍ය කාව්‍යය

නා. නැරඹීමෙන් රස විඳීම පිණිස රවිත කාව්‍ය කෘතිය; නාට්‍යය; නෘත්‍යය.

දෘශ්‍ය නිරූපණය

(පාරිභා.) නා. ඇසින් දැක ප්‍රත්‍යක්ෂ කරගැනීමට හැකි දෙයක් ඉදිරිපත් කිරීම (=visible representation).

දෘශ්‍ය වර්ණාවලිය

නා. ඇසට පෙනෙන වර්ණ මාලාව; සූර්යාලෝකයෙහි පෙනෙන්ට ඇති වර්ණ මාලාව; සුදු ආලෝකය; සංයුක්ත වර්ණ සමූහය.

දෘශ්‍ය විකිරණය

(පාරිභා.) නා. දෘශ්‍ය වර්ණාවලියට සීමිත වූ විකිරණය (=visible radiator).

දෘශ්‍ය වේලාව

(පාරිභා.) නා. සූර්යයාගේ පිහිටීම අනු ව ගන්නා වේලාව (=apparent time).

දෘශ්‍යතාව

(පාරිභා.) නා.ප්‍ර. පෙනීම; දර්ශනය වීම; (වායුගෝලීය කුඩා ජලබින්දු ඔස්සේ) ඈත පිහිටි වස්තු නිරීක්ෂණය කළ හැකිවීම (=visibility).

දෘශ්‍යමාන

වි. පෙනෙන; දක්නට ලැබෙන; දැකිය හැකි.

දෘශ්‍යාධාරය

1. නා. දකින දෙය මතකයට නඟා ගැනීමට උපකාර වන දේ; රූප සටහන් ආදි දෘෂ්ටිගෝචර දේ.
2. නා. ඇසේ දුබලතා මඟ හරවා ගැන්මට පිහිට වන කාච ආදි දෑ.

දෘෂ්ට ජන්මය

නා. වත්මන්හි මෙලොව ලබා ඇති උපත; මේ ආත්මභාවය.

දෘෂ්ට ධර්මය

නා. මෙලොව; මේ භවය; පවත්නා භවය.

දෘෂ්ට මාත්‍රය

නා. හුදු දැකීම; දර්ශන මාත්‍රය.

දෘෂ්ටජන්මවේදනීය

වි. ඇස ඉදිරියේ ඇස් පනාපිට ම විඳිය යුතු; මේ භවයේ දී විපාක දෙන.
නා. මෙලොව දීම විපාක විඳිය යුතු කර්මය.

දෘෂ්ටධර්මවේද්‍ය කර්මය

නා. දිට්ඨධම්මවේදනීය කර්මය.

දෘෂ්ටපූර්ව

වි. පෙර දක්නා ලද; පෙර දුටු විරූ.

දෘෂ්ටය

1. නා. දුටු දෙය; දක්නා ලද්ද.
2. නා. විෂය ප්‍රත්‍යක්ෂ ඥානය; අවබෝධ ඥානය.

දෘෂ්ටාන්තය

නා. ප්‍රස්තුත කාරණය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන නිදර්ශනය.

දෘෂ්ටානුරාගය

නා. දැකීමෙන් ඇති වන ඇල්ම; අනුරාගය.