සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 91

අන්තරික

1. වි. අතරෙහි වූ; අතර පිහිටි.
2. (පාරිභා.) (රසා.) වි. ආවර්තිතා පද්ධතියෙහි මැද වූ (=transitional).

අන්තරික මූලද්‍රව්‍ය

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) ආවර්තිතා පද්ධතියෙහි මැද භාගයට අයත් මූලද්‍රව්‍ය (=transitional ments).

අන්තරිත

1. වි. වෙන් කළ; ඈත් වූ.
2. (පාරිභා.) වි. කලින් කල හෝ වරින් වර පවත්නා; සවිරාම (=intermittent).
නා.ප්‍ර. අභ්‍යන්තරය.

අන්තරින්ද්‍රිය

නා.ප්‍ර. සුඛ දුක්ඛ ආදිය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඉවහල් වන අභ්‍යන්තරික ව පවත්නා ඉන්ද්‍රිය; දැනීම පිළිබඳ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය.

අන්තරීක්ෂ

1. නා.ප්‍ර. අහස් පියෙස; නභෝගර්භය; අන්තලික්ඛය; ආකාශය.
2. නා.ප්‍ර. සා නැකත.
3. නා.ප්‍ර. දශ සංඛ්‍යා.
4. (වාස්තු.) නා.ප්‍ර. ත්‍රිවිධ උත්පාත ප්‍රභේද අතුරෙන් එකක නාමය; අනෙක් දෙක දිව්‍ය හා භෞම නම් වේ.
5. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේතු ග්‍රහයාගේ ත්‍රිවිධ ප්‍රභේද අතුරෙන් එකක නාමය.
6. (වාස්තු.) නා.ප්‍ර. ගෘහ කෝෂ්ඨයෙහි අෂ්ටම ගර්භය.

අන්තරීක්ෂ කිරණ

(පාරිභා.) නා.බහු. (භෞති.) ඈත අවකාශයේ සිට පෘථිවියේ වායුගෝලය මත පතිත වන විදුලිය ආරෝපණය වූ පරමාණුක අංශු (=cosmic rays).

අන්තරීක්ෂකීය

වි. අභ්‍යවකාශය හා සම්බන්ධ වූ.

අන්තරීක්ෂකේතූ

නා.ප්‍ර. තෙවැදෑරුම් කේතූන්ගෙන් එක් වර්ගයක නාමය; නක්ෂත්‍රයෙහි දිව්‍ය, අන්තරික්ෂ (අහස) භෞම හෙවත් පෘථිවිය යනුවෙන් මේ තුන් කොටස හැඳින්වේ.

අන්තරීකාව

1. නා. අන්තරය; අතර; සිදුර.
2. නා. හෘදයෙහි වම් හා දකුණු කෝෂ හෙවත් කක්ෂවලට බෙදන පේශිමය භිත්තිය.

අන්තරීප

නා.ප්‍ර. දිවයින; දීපය.

අන්තරීය

නා.ප්‍ර. ඇතුළතින් අඳින රෙද්ද; අඳනය; නිවාසනය; අන්තරවාසකය.

අන්තලක්ෂ්‍යය

(පාරිභා.) නා. අනුමාපනයක දී ප්‍රතික්‍රියාව සම්පූර්ණ වන අවස්ථාව (= end point, terminal point).

අන්තලික්ඛය

නා. අහස; ආකාශය.

අන්තවාද දෘෂ්ටි

නා.ප්‍ර. බුද්ධ ධර්මය අනු ව දෙසැට දෘෂ්ටිවලින් එකක්; ආත්මය හා ලෝකය යන දෙකෙහි කෙළවරක් ඇත යන මතය.

අන්තවාදි

වි. යම් මතයක දැඩි ලෙස එල්බ සිටින; සීමාන්තික.

අන්තශ්චර

1. වි. ඇතුළත හැසිරෙන.
2. වි. ඔත්තුකාර.

අන්තශ්චර්මය

(පාරිභා.)
1. නා. ශාකවල බාහිකයෙහි පිෂ්ට කණිකා අඩංගු ඇතුළු ම ස්තරය (=endodermis).
2. නා. සිලෝමන්ත්‍රධරයන්ගේ අභ්‍යන්තර දෙවැනි සෛල ස්තරය: කලල අවස්ථාවෙහි ඇතුළු ප්‍රස්තරය (=endoderm).

අන්තශ්චාක්‍රිකය

(පාරිභා.) නා. වෘත්තයක අභ්‍යන්තර පරිධිය වටා පෙරළෙන තවත් වෘත්තයක පරිධියෙහි පිහිටි ලක්ෂ්‍යයකින් ඇඳෙන චක්‍රය (=hypocycloid).

අන්තශ්ශාකය

(පාරිභා.) නා. පරපෝෂිත නොවන නමුදු ශාකයක් තුළ ජීවත් වන අනෙක් ශාකයක් (=endophyte).

අන්තසංඥා

නා.ප්‍ර. ලෝකය අන්තවත්ය, කෙළවරක් ඇත්තේ ය යන හැඟීම හෝ මතය.

අන්තසත

නා. බුද්ධ ධර්මයට අනු ව සේවනය නොකටයුතු ලාමක ධර්ම සත; එනම් කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය, ශාස්වතදෘෂ්ටිය, උච්ඡේදදෘෂ්ටිය, ලෝභය, ද්වේශය, මෝහය යනුයි.

අන්තස්

අව්‍ය. අන්තර්; ඇතුළු; ආභ්‍යන්තරික.

අන්තස්තත්වය

නා. අභ්‍යන්තර ස්වභාවය; දේශීය ස්වභාවය.

අන්තස්තරණ

නා.ප්‍ර. කෙළවර හෙවත් අන්තය දක්වා පැතිරීම.