සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 946

නිවනවා

1. ක්‍රි. ගින්න නැති කරනවා; උෂ්ණය නැති කරනවා; සිසිල් කරනවා; ඇල් කරනවා.
2. ක්‍රි. සන්සිඳුවනවා; වූපසමනය කරනවා;
3. ක්‍රි. නිර්වාණය අවබෝධ කරනවා; නිවන් දකිනවා.

නිවන් දකිනවා

ක්‍රි. විදර්ශනා ඥානයෙන් නිර්වාණය අවබෝධ කරනවා; නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරනවා.

නිවන් මග

නා. නිර්වාණය අවබෝධ කිරීමේ මාර්ගය; ආර්ය අෂ්ටාංගික මාර්ගය.

නිවන් සුව

නා.ප්‍ර. රාගාදි ක්ලේශ සන්සිඳවීමෙන් ලබන ශ්‍රේෂ්ඨ සුඛය; නිර්වාණ සුඛය.

නිවරණ

නා.ප්‍ර. ගවයන්ගේ සිරුරේ හම පුලුස්සා තබන සලකුණ; හන්වඩුව; අඩයාළම.

නිවරද

වි. දොස් නැති; වරද රහිත; නිදොස්; නිර්දෝෂී.

නිවර්තක

වි. ආපසු හරවන; නවතන; වළක්වන.

නිවර්තක දණ්ඩනය

(පාරිභා.) නා. නැවත අපරාධ කිරීම වළක්වන ලෙස දෙන බරපතළ දඬුවම. (=deterrent sentence).

නිවර්තන

1. වි. නවතන; අවසන් වන; වළකන.
2. වි. කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර පිහිටි හෝ ඒවා හා සම්බන්ධ.

නිවර්තන කලාපය

නා. පෘථිවියෙහි කර්කටක සහ මකර නිවර්තන අතර, සමකය දෙපස පවතින භූමි ප්‍රදේශය; උත්තරාක්ෂ 23 1/2 ත්, දක්ෂිණාක්ෂ 23 1/2 ත් අතර ප්‍රදේශය; ඝර්ම කලාපය.

නිවර්තන ජීරණය

(පාරිභා.) නා. ඝර්ම කලාපයේ පවත්නා වායුගෝලීය බලපෑම්වලට භාජන වී පෘථිවි පාෂාණ දිරාපත් වීම (=tropical weathering).

නිවර්තන දේශගුණය

නා. උෂ්ණ දේශගුණයක්; සමක තීරයටත් උෂ්ණ කාන්තාර තීරයටත් අතර ප්‍රදේශවල පවත්නා දේශගුණය.

නිවර්තන නිවාසය

නා. කෙනෙකු සිර අඩස්සියේ තබා ගෙන මුදාහරින තෙක් රැක බලාගන්නා නිවෙස; රැඳවුම් නිවාසය.

නිවර්තනය

1. නා. වැළැක්වීම; නැවැත්වීම.
2. නා. සූර්ය සංක්‍රමණය ආපසු හැරෙන සේ දිස්වන කර්කටක නිවර්තනය හෝ මකර නිවර්තනය.

නිවර්තිත

වි. නැවතුණු; වැළකුණු.

නිවරැද්ද

නා. දෝෂ රහිත වූව; නිදොස්බව; නිරවද්‍යය.

නිවස

නා. වසන තැන; නිවාසය; නිවෙස; නිවසනය.

නිවසනය

නා. වසන තැන; නිවෙස; නිවස්න; නිවස.

නිවසනවා

1. ක්‍රි. වසනවා; වාසය කරනවා.
2. ක්‍රි. හඳිනවා; ඇඳුමින් සැරසෙනවා; සිවුරු ආදිය පොරවනවා.

නිවහන

නා.ප්‍ර. නිවාසය; නිවස; නිවස්න.

නිවහය

නා. රාශිය; සමූහය; ගොඩ.

නිවහල්

1. වි. අනුන්ගෙන් පිහිටක් නැති; අත් උදවුවක් නැති; අසරණ.
2. වි. යටත් නැති; වහල් නොවන; නිදහස්.

නිවහලුකම

(කථා.) නා. බියසුලු ගතිය.

නිව්ටනය

(පාරිභා.) නා. මීටර කිලෝග්‍රෑම් තත්පර ක්‍රමය අනු ව බලය මැනීමේ ඒකකය (=newton unit).