සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 945

නිල්ගහ

[නිල් + ගහ]
නා. නිල්පැහැති සිරුරක් ඇති ග්‍රහයා; සෙනසුරා.

නිල්දින

නා. ශනි ග්‍රහයාගේ දිනය; සෙනසුරාදා; ශනිදින.

නිල්දෙව්

නා.ප්‍ර. වැහිවලාකුළ; ජලධර වලාව; කළුපැහැය ගත් වලාකුළ.

නිල්නුවන්

නා.ප්‍ර. නිල් පැහැ ඇස්; නීලනේත්‍ර.

නිල්බඳා

නා. නිල් සිරුරක් ඇත්තා; විෂ්ණු; උවිඳු.

නිල්බැමලේ

නා.ප්‍ර. නිල්පැහැ ඇස්බැම; නීල භ්‍රෑ රේඛාව.

නිල්ල අඹනවා

(කථා.) ක්‍රි. ඉතා සාරවත් ව වැඩෙනවා.

නිල්වලා

1. නා.ප්‍ර. නිල්පැහැති වලාකුළු; වැහි වලාකුළු.
2. නා.ප්‍ර. නීලවර්ණ ජලය.

නිල්වෛදූර්ය

නා.ප්‍ර. මැණික් වර්ගයක්; බළල් ඇස් සේ නිලට හුරු වර්‍ණයෙන් යුත් සුදුනිල් මැණික් වර්ගය.

නිලා

නා.ප්‍ර. දැල්වූ විට (නිල්වන්) ආලෝකයක් විහිදුවන ගිනිකෙළි විශේෂයක්.

නිලාපත

නා.ප්‍ර. අහස් මඟ; අහස.

නිලාමිණි

නා.ප්‍ර. ඉන්ද්‍රනීල මාණික්‍යය; නිල්වන් මැණික්; නිල්මිණි.

නිලි

1. නා.ප්‍ර. නිල්පාට; නිල්පැහැය; නීලවර්ණය.
2. නා.ප්‍ර. වැසි වලාවෙන් වූ ගන අඳුර; ඝන වලාකුළු නිසා ඇති වූ තද අන්ධකාරය.
3. නා.ප්‍ර. නිවෙස; වාසස්ථානය; නිවාසය.

නිලිපුලැසි

වි. නිල් මානෙල් වැනි ඇස් ඇති.
1. නා. මුව දෙන; මුවඟන.
2. නා. ගැහැනිය; ස්ත්‍රිය.

නිලිවැස්ස

(කථා.) නා. නොකඩවා වසින සිහින් පොද සහිත වැස්ස; මඳ සුළඟ සහිත ඉතා හීන් පොද වරුසාව.

නිලීන

වි. සැඟවුණු; නොපෙන්වන; රහස්; අප්‍රකට.
නා.ප්‍ර. ශනි ග්‍රහයාගේ දිනය; ශනි දින; සෙනසුරාදා.

නිලීන ලක්ෂණය

(පාරිභා.) නා. ජීවීන් හට පාරම්පරික ව උරුම වී, මුල් අවස්ථාවෙහි වැසී යට වී, පසු ව කිසියම් අවස්ථාවක මතු විය හැකි ලක්ෂණය (=recessive character).

නිලීනය

නා. සිය පරපුරේ මූලිකයාට අයත් ව (සැඟවී) පැවති ඇතැම් ලක්ෂණ යම් තැනැත්තකු කෙරෙහි මතු වී පෙනෙන්නට වීම (=recessive).

නිලීයන

වි. සැඟවෙන; නොපෙනී සිටින; අප්‍රකට ව සිටින.

නිවජ්

වි. වැරදි නැති; දොස් නැති; නිරවද්‍ය.

නිවට

වි. පහත්; දීන; බැගෑපත්; මෝඩ; අඥාන.

නිවටයා

නා. දීනයා; මෝඩයා; අඥානයා; ළාමකයා; බියගුල්ලා.

නිවත්

1. නා.ප්‍ර. ඉපදීම; හටගැනීම; පැවතීම.
2. නා.ප්‍ර. වස්ත්‍ර නොමැති.
3. නා.ප්‍ර. වස්ත්‍ර නොමැත්තා; නිඝණ්ඨයා.
1. වි. වස්තුව නැති; දිළිඳු; දුගී; නිර්ධන.
2. වි. නුවණැති; ප්‍රඥාසම්පන්න; බුද්ධිමත්.
3. වි. ගිලන්.

නිවන

නා. රාගාදි ගිනි නිවාලීමෙන් ලබන සැනසිල්ල; තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් ලබන විමුක්තිය; නිර්වාණය.