සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 944

නිලනාමය

නා. රාජකාරිය හැඳින්වෙන නාමය; උසුලන තනතුරු නාමය.

නිලනොලත්

වි. තනතුරු හා සම්බන්ධ කාර්යභාරයට අයත් නොවූ.

නිලනොලත් මන්ත්‍රී

නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට නිලබලයක් නැති ව පත් කරනු ලැබූ මන්ත්‍රීවරයා.

නිලඳුන්

[නිල් + අඳුන්]
නා.ප්‍ර. (ඇසෙහි ගල්වන) නිල්වන් අඳුන; නීලාඤ්ජනය.

නිලපට

නා.ප්‍ර. නිල්පාට රෙද්ද; නිල්වන් වස්ත්‍රය.

නිලබ

[නිල් + අබ]
නා. නිල්පාට වලාකුළ; අඳුරු පැහැති වලාව; මේඝකූටය.

නිලබලය

නා. තනතුර නිසා හිමි වන අධිකාරය; නිලය නිසා පැවරෙන හිමිකම.

නිලමක්කාරයා

නා. නිලයක් ලද තැනැත්තා; තනතුරක් දරන්නා; නිලධරයා.

නිලමණ්ඩලය

නා. රාජකාරි සඳහා වූ කාර්ය මණ්ඩලය; නිලමඬුල්ල.

නිලමය

නා. තනතුර නිලය.

නිලම්බය

(පාරිභා.) නා. උදරයේ යටි කොනට සම්බන්ධ වූ ද වෘෂණ දරා සිටින්නා වූ ද, එයට ආවරණය දෙන්නා වූ ද තුනී පේශී කදම්බය (=cremaster).

නිලමෙ

1. නා. රජවරු විසින් පත් කරන ලද නිලධාරයා.
2. නා. උඩරට ප්‍රභූ පවුල්වලට අයත් තැනැත්තා.

නිලඹර

[නිල් + අඹර]
1. නා. නිල්වන් අහස.
2. නා. නිල්පාට රෙද්ද; නීල පටලය; නිල් වස්ත්‍රය.
3. නා. විෂ්ණු දෙවි; බලභද්‍ර.

නිලය

1. නා. වාසය; වාසස්ථානය; ගෙය; ස්ථානය.
2. නා. නවාතැන; රැකවල් ලූ තැන; සැඟවී සිටින ස්ථානය.
3. නා. පොළොව; බිම.

නිලයනය

1. නා. නවාතැන් ගැනීම; ලැගුම.
2. නා. සැඟවීම.

නිලයෂ්ටිය

නා. තනතුර හඳුන්වන සංකේතය වශයෙන් දරන යෂ්ටිය; සෙංකෝලය.

නිලලකුණ

නා. තමන් දරණ නිලය හැඳින්වීම සඳහා භාවිත කරන සලකුණ; නිල ලාඤ්ඡනය (=badge).

නිලලනවා

[නිල + ලනවා]
1. ක්‍රි. අයත් කර ගන්නවා; හිමිකර ගන්නවා; තහවුරු කරගන්නවා.
2. ක්‍රි. රාජකාරියෙහි යොදවනවා; බලතල යොදනවා.
3. ක්‍රි. නොපෙනෙන්නට සලස්වනවා; සඟවනවා.
4. ක්‍රි. රකිනවා; වාඩිලනවා; රැකවල් දමනවා.

නිලවර

නා.ප්‍ර. තනතුර; තානාන්තරය.

නිලස

නා. ඉක්මන; නොපමාව.

නිල්

1. නා.ප්‍ර. සෙවෙල; දියසෙවෙල; දිය හවරිය.
2. නා.ප්‍ර. ගසක නාමය; බෙලි.
3. නා.ප්‍ර. ළපටි ඵලය; මැලැස්ස.

නිල්කට

1. නා. ඊශ්වර; මහදෙවි.
2. නා. මොනරා.

නිල්කදාමිණි

නා.ප්‍ර. නිල්පැහැති වීදුරු; විනිවිද පෙනෙන ශක්තිමත් මැටි විශේෂයක්.

නිල්ගල

1. නා. මොනරා; නිල්ගෙල.
2. නා. නිල් පැහැති පාෂාණ.