සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 943

නිරෝධාධිගමය

නා. (අභි.) නිවන අවබෝධ කිරීම; නිර්වාණය සාක්ෂාත් කිරීම.

නිරෝධානුපස්සනාව

නා. (අභි.) නිරෝධය අනු ව බැලීම; සියලු සංස්කාර නිරෝධයට පැමිණෙන සේ දැකීම.

නිරෝධිත

වි. නිරුද්ධ වූ හෝ නිරෝධයට පැමිණි; විනාශයට හෙවත් අභාවයට පත් කළ.

නිරෝහි

නා.ප්‍ර. සතුටෙන් ජයෙන් උදම් වී කරන ක්‍රීඩාව හෝ නර්තනය; ප්‍රීතිඝෝෂා කරමින් කරන උත්සවය.

නිල

1. වි. නියම; උරුම; නිශ්චිත.
2. වි. රාජකාරිය පිළිබඳ; තනතුරට අයත්; සේවයට හිමි.
1. නා.ප්‍ර. තනතුර; පදවිය; ධුරය.
2. නා.ප්‍ර. රාජකාර්යය භාර වූ මණ්ඩලය; රාජකාරි අංශය.
3. නා.ප්‍ර. නියමය; අණ; නියෝගය.
4. නා.ප්‍ර. ආකාරය; ස්වභාවය; අලංකාරය.
5. නා.ප්‍ර. නීල වර්ණය.
6. නා.ප්‍ර. මිනිසුන් අලි ඇතුන් සතුන්ගේ ශරීරයේ පවතින අධිසංවේදන ස්ථාන.
7. නා.ප්‍ර. මැණික් වර්ගය.

නිල අල්ලනවා

ක්‍රි. වෛද්‍ය චිකිත්සාවේදී රෝග නිවාරණයට අදාළ පරිද්දෙන් රෝගියාගේ මර්මස්ථාන අල්ලනවා.

නිල ආයිත්තම

නා. නිලය අඟවන පලඳනාව.

නිල ඇඳුම

නා. නිලයට නොහොත් පදවියට නියමිත ඇඳුම.

නිල ගමන

නා. තනතුරට හෝ පදවියට හෝ අදාළ මෙහෙයක් සම්බන්ධයෙන් යන ගමන; රාජකාරියක් සඳහා යෑම.

නිල නිවාසය

නා. නිලධරයකුට පැවරෙන නිවෙස; තනතුරක් දරන්නාගේ වාසයට වෙන් වූ නිවෙස.

නිල මැස්සා

නා. ඩිප්ටෙරා ගෝත්‍රයට අයත් අපිරිසිදු දැයෙහි වහන, නිල්පැහැති මැසි වර්ගයක්.

නිල මුද්‍රාව

නා. පදවිය පිළිබඳ සලකුණ; ලාංඡනය; පදවිය, නිලය දරන සහතික ලකුණ.

නිලංකාර වෙනවා

ක්‍රි. තද ආලෝකය හමුවේ පෙනීම නොපැහැදිලි වෙනවා.

නිලංකාරය

නා. ශාරීරික ක්ලාන්ත භාවයට පෙර මොහොතකට පමණ ඇති වන ඇස් අඳුරු වීම; විභ්‍රමය.

නිලංග

නා.ප්‍ර. නිල්පැහැති සිරුරක් ඇත්තා; විෂ්ණු දෙවි.

නිලකට

නා. නිල්පැහැති ගෙලක් ඇත්තා; ඊශ්වර දෙවි.

නිලකර

නා.ප්‍ර. නිල් වූ ග්‍රීවයක් ඇත්තා; මොනරා.

නිලකාර මුළුව

(පාරිභා.) නා. නියමිත නිලධාරි පිරිස (=cader).

නිලකාරයා

1. නා. රාජකාරියෙහි නියුක්ත වූ තැනැත්තා; රාජසේවකයා.
2. නා. නිලපංකුව බුක්ති විඳිමින් සේවය කරන්නා; බදුකාරයා; (ඉඩම්හිමි) ගම්කාරයා.

නිලඟ

[නිල් + අඟ]
වි. නීලවර්ණ වූ; නිල්පාටින් යුතු; සැඟවුණු අංග ඇති; මුවා වූ.
1. නා.ප්‍ර. නිල්පැහැති ශරීරයක් ඇත්තා; විෂ්ණු දෙවි.
2. නා.ප්‍ර. සෙනසුරු ග්‍රහයා; ශනි ග්‍රහයා.
3. නා.ප්‍ර. නීල කොබෙයියා.

නිලතලය

නා. නිලය හා ඊට අදාළ බලතල තනතුර; පදවිය.

නිලධරයා

නා. තනතුරක් දරන්නා; මුලාදෑනියා.

නිලන

නා.ප්‍ර. ලැගීම; රැඳීම; විසීම.

නිලනවා

1. ක්‍රි. නිල්පාට වෙනවා; නිල්වන් වෙනවා.
2. ක්‍රි. නවාතැන් ගන්නවා; ලගිනවා.