සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 942

නිරුපහත

වි. නොනැසූ; විනාශ නොකළ; නොමඬනා ලද.

නිරුපාදාන

වි. (අභි.) තෘෂ්ණා, දෘෂ්ටි ආදි උපාදාන නැති; භව පැවැත්මට හේතු වන කරුණු විරහිත.

නිරුපාධික

(පාරිභා.) වි. (දර්ශන.) නිශ්චිත; ඒකාන්ත; අවධාරාණාත්මක (=categorical, unconditional).

නිරුවත

නා. වස්ත්‍ර නැතිව සිටීම; නග්නතාව; සෙළුව.

නිරුවත්

වි. වස්ත්‍ර රහිත; නග්න; නිර්වස්ත්‍ර.

නිරුවත් ආක්‍රමණය

නා. (රූඪි.) නිර්ලජ්ජි අයුරින් රටක් යටත් කර ගැනීමේ අදහසින් රටකට කඩා වැදීම.

නිරුවළ

නා. කුණු කසළ එකතුවන වළ.

නිරූඪ

වි. යෙදුණ; ව්‍යවහෘත; භාවිත.

නිරූඪි

නා.ප්‍ර. ව්‍යවහාරය; ආරෝපණය; ප්‍රකටතාව.

නිරූපකයා

නා. දක්වන්නා; විස්තර කර දෙන්නා; නිරූපණය කරන්නා; පැහැදිලි කරන්නා.

නිරූපණය

1. නා. පැහැදිලි කිරීම; විස්තර කිරීම; දැක්වීම.
2. නා. ක්‍රියාත්මක කර පෙන්වීම; ප්‍රදර්ශනය.
3. නා. මානසික චිත්‍ර තනා ගැනීම; චෛතසික කාර්යය.

නිරූපිත

වි. දක්වන ලද; නිරූපණය කරන ලද.

නිරූහණය

1. (වෛද්‍ය.) නා. බඩට කසාය විදීම; උදරයට කසාය වස්ති කිරීම.
2. නා. පංචකර්ම විධියෙන් එකක්.

නිරේඛනය

(පාරිභා.) නා. (කපන කටු ආදි ආයුධ භාවිතයෙන් තොර ව ක්ෂාර අම්ල භාවිතයෙන්) ලෝහ, වීදුරු ආදියෙහි විවිධ රූප කැපීම (=etching).

නිරොක්සිජනීකෘත

(පාරිභා.) වි. ඔක්සිජනීකරණය නොකරන ලද; ඔක්සිජන් නොකැවුණු (=non-oxygenated).

නිරොද

නා.ප්‍ර. නිරෝධය; දුක නැති කිරීම.

නිරොස

වි. රෝෂය නැති; කෝපය නොමැති.

නිරෝධ චිත්තය

නා. නිවන පිළිබඳ වූ සිත; නිවන් අවබෝධ කිරීමේ දී නිවන ප්‍රත්‍යක්ෂ කරමින් පහළ වන සිත.

නිරෝධ ඤාණය

නා. (අභි.) දුඃඛ නිරෝධය අවබෝධ කරවන නුවණ; නිරෝධ සත්‍යාවබෝධය සමඟ ඇති වන නුවණ.

නිරෝධ ධර්මය

නා. (අභි.) නිරුද්ධ වන ස්වභාවය; නැති වීම ස්වභාව කොට ඇතිබව.

නිරෝධ සත්‍යය

නා. (අභි.) තෘෂ්ණාව මඳකුත් ඉතිරි නොකොට නැති කිරීම; දුරලීම; තෘෂ්ණාවෙන් මිදීම පිළිබඳ සත්‍යය.

නිරෝධනය

(පාරිභා.) නා. බාධා පැමිණවීම; එක වස්තුවක චලනයට තවත් වස්තුවකින් ඇති වන බාධාව (=interfere).

නිරෝධය

1. නා. අභාවය; විනාශය; විධ්වංශනය.
2. නා. වැළැක්වීම; යටපත් කිරීම.
3. (අභි.) නා. දුක නැති කොට නිවන අවබෝධ කිරීම; නිවන; නිර්වාණය.
4. නා. චතුරාර්ය සත්‍ය අතුරින් තුන්වැන්න.

නිරෝධාඥා

(පාරිභා.) නා.ප්‍ර. යමක් කිරීම වළක්වාලීමට උසාවියකින් කරන තහනම් නියෝගය; වළක්වාලීමේ විධානය.