සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 947

නිව්මෝනියාව

නා. පෙනහැල්ල ඉදිමීමෙන් හටගන්නා සන්නිපාත රෝගයක්; පෙනහැල්ලේ ප්‍රදාහය. (=pneumonia).

නිවාඩුපාඩුව

නා. විවේකය; අවකාශය; ඉස්පාසුව.

නිවාඩුව

1. නා. ඉඩ ඇති වේලාව; අවසරය; විවේකය.
2. නා. නිවාඩු කාලය; යම් වැඩක නොයෙදෙන කාලය.

නිවාත

නා.ප්‍ර. වාතය රහිත ස්ථාන; වාතය නැති තැන.
1. වි. මාන විරහිත: තමා උසස් කොට නොසිතන; නිහතමාන.
2. වි. හමන සුළං නැති; නිසසල වාතය ඇති.

නිවාත ගුණය

නා. යටහත් පැවැත්ම; නිහතමානී ගුණය; උඩඟු නොවන ස්වභාවය.

නිවාතතීරය

නා. සමකය දෙපස 10° ක් පමණ උතුරටත් දකුණටත් පිහිටා ඇති අඩු වායු පීඩනයෙන් යුත් නිසල ප්‍රදේශය; ඩොල්ඩ්‍රම්ස් තීරය.

නිවාප

1. නා.ප්‍ර. ආහාර; ගොදුර; කෑම.
2. නා.ප්‍ර. මළවුන් උදෙසා දෙන දානය.
3. නා.ප්‍ර. ධාන්‍ය.

නිවාපය

(පාරිභා.) නා. මොළයේ යටිපැත්තේ වැඩෙන ප්‍රසරයක්; කාහලිකාව (=infundibulum).

නිවාරක ජාලය

(පාරිභා.) නා. ගොඩනැගිලි බදාම ආදිය සකස් කර ගැනීමට වැලි, කළු ගල් ආදිය ගරා ගැනීම සඳහා පිළියෙල කර ගන්නා දැල (=gri screen).

නිවාරකය

1. නා. නිවාරණය කරන දෙය; රෝගාදිය වැලඳීම වළක්වන දෙය.
2. නා. ආරක්ෂා කිරීම සඳහා ගන්නා ආවරණය; වැස්ම.

නිවාරණය

1. නා. (රෝග භය ආදිය) දුරු කිරීම; (උපද්‍රවාදිය) සන්සිඳවීම; වැළැක්වීම. (ක්‍රිස්ති.)
2. (ක්‍රිස්ති.) නා. නිදහස.

නිවාරිත

වි. වැළැක්වූ; වළක්වන ලද.

නිවාස

1. නා.ප්‍ර. වසන තැන්; වාසස්ථාන; ගෘහ; නිවෙස්.
2. නා.ප්‍ර. තාවකාලික නවාතැන්; ළදරු නිවාස, වැඩිහිටි නිවාස ආදිය.
3. නා.ප්‍ර. පාසැල් ආදි ආයතනවල ක්‍රීඩා තරග ආදිය සඳහා සංවිධානය කරනු ලබන කණ්ඩායම්.

නිවාස අඩස්සිය

නා. පදිංචි තැනින් පිටවීම නීතියෙන් තහනම් කිරීම; නිවාසයෙහි ම සිර කිරීම.

නිවාසන

වි. (ඇඳුම්) අඳින.

නිවාසනය

1. නා. (ඇඳුම්) ඇඳීම.
2. නා. (භික්ෂූන්ගේ තුන් සිවුරෙන් එකක් වූ) අඳනය.
3. නා. අඳින වස්ත්‍රය.

නිවාසාන්තර

[නිවාස + අන්තර]
වි. ‛නිවාස’ නමින් හැඳින්වෙන ශිෂ්‍ය කණ්ඩායම් අතර; නිවාස අතර.

නිවාසිත

වි. විසූ; වාසය කළ; රැඳී හුන්; පදිංචි ව සිටි.

නිවැකුම්

නා.ප්‍ර. ආලේප නොකිරීම; නොගෑම; අනාලේපය.

නිවැරදි

වි. වරද නැති; නිදොස්; යහපත්.

නිවැරදි අගය

(පාරිභා.) නා. නියම අගය; නියම වටිනාකම (=accurate value).

නිවැරදි කරනවා

ක්‍රි. වරද ඉවත් කරනවා; වැරැද්ද හරි ගස්සනවා; වැරදි අස් කර ශුද්ධ කරනවා.

නිවැරදිකාරයා

නා. වරදක් නොකළ තැනැත්තා; අපරාධයක් නොකළ පුද්ගලයා; වරදින් මිදුණු තැනැත්තා.

නිවැරැද්ද

නා. වැරදි නොවූව; නිදොස්බව; නිරවද්‍යය.