සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 95

අන්ධ විශ්වාසය

නා. අන්ධයකු මෙන් කරුණු නොවිමසා ඇති කර ගන්නා විශ්වාසය; බොළඳ විශ්වාසය.

අන්ධකාරය

1. නා. අඳුර; කළුවර; තිමිර; කළු පැහැය.
2. නා. ඇසේ පෙනීම අඩුකම.

අන්ධතාමස

නා.ප්‍ර. කට්ට කළුවර; ගන අඳුර.

අන්ධපර්යන්තය

නා. අක්ෂිගෝලයෙහි අභ්‍යන්තර දර්ශනජාලයට අයත් වූව ද, පෙනීම ගෙන දීමේ ශක්තියක් නොමැති ස්ථානයක්; අන්ධ බින්දුව.

අන්ධබාල

වි. නුවණ මඳකමින් අන්ධ වූ; අනුවණ; මෝඩ; අඥාන; අඳබාල.

අන්ධබින්දුව

නා. අන්ධ පර්යන්තය.

අන්ධමූගබධීර

නා.ප්‍ර. (විනය.) පැවිදි නොකළ යුතු අඳ වූත් ගොළු වූත් බිහිරි වූත් අය.

අන්ධවේණි පරම්පරාව

නා. හරි අවබෝධයකින් තොර ව යමක් අනුකරණය කිරීම; සත්‍යය නොදක්නවුන් පසුපස මුළා වී ගමන් කිරීම.

අන්ධානුකරණය

නා. කරුණු නොවිමසා යම් භාවිතයක් අනුගමනය කිරීම.

අන්ධාශය

(පාරිභා.) නා. කුහරයකින් හෝ නාළයකින් හෝ බෙදුණු කෙළවර වැසුණ නළය හෙවත් කෝෂය; උණ්ඩුකය; අපනාමය.

අන්න

නා.ප්‍ර. ආහාරය; භෝජනය.

අන්නකථා

නා.ප්‍ර. (විනය.) භික්ෂූන් විසින් නොකළ යුතු දෙතිස් කථාවලින් එකක් වන ආහාරය පිළිබඳ කරන කථා.

අන්නජ

වි. ආහාරයෙන් උපන්; කෑමෙන් හටගත්.

අන්නදානය

නා. ආහාර දන්දීම; බුදු දහමේ එන දස වැදෑරුම් බාහිර දානයන්ගෙන් එකක නාමය.

අන්නනාළය

නා. උගුරේ සිට පහතට ආහාර ගමන් කරන නළය; ගලනාලය; අන්නස්‍රෝතය.

අන්නපන්න

(කථා.) නා.ප්‍ර. බඩුමුට්ටු; මෙවලම්.

අන්නප්පට්ටුව

1. නා.ප්‍ර. (දේපළ) අන් අය සතු වීම; අන්‍යයන් අතට පත් වීම.
2. නා.ප්‍ර. ආපදාව; විපත්තිය.

අන්නප්‍රාශනය

නා. ඉඳුල් කට ගෑම; කුඩා දරුවන්ට නැකතට බත් කැවීම.

අන්නපාන

නා.ප්‍ර. කෑම සහ බීම; ආහාර පාන.

අන්නමඩය

(කථා.) නා. අනින හුල; මසුන්ට ඇන මැරීමට භාවිත කරන ආයුධ විශේෂයක්.

අන්නවිරාල

(කථා.) නා.ප්‍ර. පල්ලියේ යාච්ඤා පොත කියවන්නා; අන්නාවි.

අන්නස්‍රෝතය

නා. ග්‍රසනිකාවත් ආමාශයත් අතර වූ ආහාර මාර්ගයේ කොටස (=oesophagus).

අන්නා කොටවනවා

(කථා.) ක්‍රි. ඔවුනොවුන් අවුළුවා දබර ඇති කරවනවා; ඇනකොටා ගන්න සලස්වනවා.

අන්නාවි

නා.ප්‍ර. (ක්‍රිස්ති.) දේවස්ථානයේ / පල්ලියේ ගිහි නිලධරයකුට ව්‍යවහාර වන නාමය.