සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 94

අන්තෝජාත

නා. නිවසෙහි උපන් දාසයා; ගෘහ දාසයකුට දාව ගෘහ දාසියගේ කුසින් උපන් තැනැත්තා.

අන්තෝනිවේසනය

නා. ගෙය ඇතුළ; ඇතුළු ගෙය.

අන්තෝනීත

වි. කෙළවරට ගෙන ගිය; අන්තයට පමුණුවන ලද.

අන්දකයිප්පු

(කථා.) නා.ප්‍ර. සිත් අවුල් කරවන මත් ද්‍රව්‍යයක්.

අන්දබූත

(කථා.) වි. සිත අවුල් සහිත; අන්දුන්කුන්දුන් වූ; වික්ෂිප්ත.

අන්දම

නා. ආකාරය; ක්‍රමය; පිළිවෙළ.

අන්දමන්ද

වි. සිහිමුළා වූ; අන්දුන්කුන්දුන් වූ; මෝඩ; අඥාන; මුර්ඛ.

අන්දමසන්දම

(කථා.) නා.ප්‍ර. ස්වාභාවික තත්ත්වය හා සංවර ගතිය.

අන්දම් තබනවා

ක්‍රි. අලංකාර ව පෙනෙන ලෙස කෙහෙ රැවුල් කපා හැඩ තබනවා; හිසකේ විලාසිතාකාරව පීරනවා.

අන්දර

1. (කථා.) නා.ප්‍ර. උකුළ; ඉඟ.
2. නා.ප්‍ර. එදිරිය; විරුද්ධකම; ප්‍රතිපක්ෂතාව.

අන්දරකෙක්ක

(කථා.) නා. ඇවිළි ඇවිළී රණ්ඩුසරුවල් කරන තැනැත්තා; කලහප්‍රිය තැනැත්තා; දබර කරන්නා.

අන්දරය

(කථා.) නා. මිථ්‍යා ප්‍රබන්ධය; කථා පුවත; අසත්‍යය.

අන්දරසින්දර

(කථා.) වි. අන්දුන් කුන්දුන්; ව්‍යාකූල; වික්ෂිප්ත.

අන්දායම

1. නා. ඔරුවක හෝ පාරුවක හෝ ලෑලි දෙකක් සන්ධි වන තැන.
2. නා. යුද සෙනඟ නැවතී සිටින තැන; කඳවුර; වාඩිය.

අන්දිටුවා

නා. වෙනත් ආගමකට අයත් තැනැත්තා; අන්‍ය දෘෂ්ටිකයා; මිථ්‍යා ලබ්ධිකයා.

අන්දිරම්

(කථා.) නා.ප්‍ර. කෙළවර; කොන; අන්තය.

අන්දු

1. නා.ප්‍ර. අත්පා හිර වන සේ දමන දම්වැල; විලංගුව.
2. නා.ප්‍ර. ස්ත්‍රීන් පයෙහි පලඳින වළල්ල; නූපුරය.

අන්දුකය

1. නා. ඇතුන්ගේ පය බඳින දම්වැල; යදම.
2. නා. ස්ත්‍රීන් පයෙහි පලඳින වළල්ල; නූපුරය.
3. නා. අත් පා හිර වන සේ දමන දම්වැල.; විලංගුව; හැකිල්ල.

අන්දුඝර

නා.ප්‍ර. බන්ධනාගාරය; හිරගෙය.

අන්දුන්කුන්දුන්

වි. කුමක් කළ යුතු දැයි නොදන්නා; ව්‍යාකූල; වික්ෂිප්ත.

අන්දූබන්ධනය

නා. අත් - පා යදමෙන් බැඳ තැබීම; විලංගු ලෑම; දඬුකඳෙහි ගැසීම; සිරගෙයි දැමීම.

අන්දෝරුව

(කථා.) නා. කෙනෙකු වාඩි කරවා ඔසවා ගෙන යෑම පිණිස තැනූ යානා විශේෂය; පල්ලැක්කිය; දෝලාව.

අන්ධ

1. වි. දෑස ම නොපෙනෙන; ඇස් නැති.
2. වි. නුවණ නැති; මෝඩ; අඥාන.
3. වි. ආන්ධ්‍ර දේශයට / තෙලිඟු රටට අයත්.

අන්ධ භක්තිය

නා. කරුණු හරි හැටි නොවිමසා අන්ධයකු මෙන් ඇති කර ගන්නා මූඪ විශ්වාසය.