සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 970

නේ

1. නා.ප්‍ර. දත යුතු සියල්ල; අවශ්‍යයෙන් ම අවබෝධ කරගත යුතු දෙය; ඥේය මණ්ඩලය.
2. නා.ප්‍ර. නීතිය; න්‍යාය.
වි. නොයෙක්; බොහෝ; අපමණ; අපරිමිත.
නි. නොවේ ද, නේ ද යන ප්‍රශ්නාර්ථයෙන් යුත් නිපාතයකි.

නේක

වි. අනේක; නොයෙක්; බොහෝ.

නේත්‍ර කල්‍යාණ

වි. ඇස ප්‍රිය කරන; ඇස සතුටු කරන.

නේත්‍ර කාචය

(පාරිභා.) නා. ඇසේ පිටිපස පිහිටි කාචයක් බඳු කොටස.

නේත්‍ර ගෝලකය

(පාරිභා.) නා. ඇසෙහි ගෝලාකාර කොටස; අක්ෂි ගෝලය.

නේත්‍ර ඡිද්‍රය

නා. ඇසේ කෘෂ්ණ මණ්ඩලය මැද පිහිටි ඉතා තද කළු කවය; ඇසේ බබා; නේත්‍ර තාරකාව.

නේත්‍ර ධාතුව

නා. පිරිනිවි බුදුරජුන්ගේ ඇස.

නේත්‍ර ධාරාව

නා. ඇස් දහර; කඳුළු.

නේත්‍ර පථය

නා. ඇසට පෙනෙන ප්‍රමාණයෙන් සීමා වූ ප්‍රදේශය.

නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය

නා. බුදු පිළිමයක නෙත්වල කළු ඉංගිරියාව පිහිටුවීමේ පුණෝත්සවය; නේත්‍ර පින්කම.

නේත්‍ර මණ්ඩලය

(පාරිභා.) නා. දූරදර්ශකයක ඇස තබා බලන කාචය.

නේත්‍ර යුග්මය

නා. ඇස් යුවළ; ඇස් දෙක.

නේත්‍ර රසායන

වි. ඇසට රස අඳුනක් වූ; ඇස පිනවන.

නේත්‍ර ස්ඵටිකය

නා. අක්ෂි කාචයෙහි ප්‍රධාන සංඝටකය; ස්ඵටික කාචය.

නේත්‍රබාධය

[නේත්‍ර + ආබාධය]
නා. ඇසෙහි හටගන්නා රෝගය; ඇස් ලෙඩ.

නේත්‍රමල

නා.ප්‍ර. ඇසින් වැගිරනෙ මල; අක්ෂි ගූථ; ඇස් මල; කබ.

නේත්‍රය

1. නා. දෘෂ්ටි ඉන්ද්‍රිය; ඇස.
2.(ජ්‍යෝති.) නා. කේන්ද්‍රයක දෙවැනි ස්ථානය; ධන ස්ථානය.
3. නා. භූත සංඛ්‍යා ක්‍රමයෙහි දෙක.
4. නා. වෘක්ෂයක මූල.

නේත්‍රාඤ්ජන

නා. ඇසේ ගාන අඳුන.

නේත්‍රාභිරාම

වි. නෙත් පිනවන; ඇහැ සතුටු කරවන.

නේත්‍රාලෝකය

නා. ඇසෙහි ආලෝකය; නෙත් කැලුම; නේත්‍ර ප්‍රභාව.

නේතෘ

වි. අනේක; නොයෙක්; බොහෝ.

නේපථ්‍යය

1. නා. ඇඳුම් පැලඳුම්; වේශය; භූෂණය.
2. නා. නොයක් වේශ මවා පෑම; නෛපථ්‍යය.
3. නා. රඟහලක නළුවන් වේශ ගන්වන කොටස.

නේපාතික

වි. (ව්‍යාක.) නිපාත ස්වභාවය ඇති; නිපාත ලෙස ගැනෙන; නෛපාතික.

නේමිත්තකයා

නා. සංඥා හෝ ලකුණු හෝ බලා අනාගතයෙහි විය හැකි ඉෂ්ටානිෂ්ට කරුණු කියන්නා.