සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 977

නොසරස්

1. නි. පමා නොවී; කල් නොයවා; ඉක්මනින් ම.
2. නි. නිතර; හැම විට; නිරන්තර.

නොසරුප්

වි. නුසුදුසු; අනුචිත; අසාරුප්‍ය.

නොසරුස්

වි. අශාන්ත; චණ්ඩ.

නොසැතින්

ක්‍රි.වි. සැතින් තොර ව; අවියෙන් තොරව; නිරායුධ.

නොසැබි

නා.ප්‍ර. අසභ්‍ය; නරක.

නොසැලකිල්ල

1. නා. සැලකීමෙන් තොරවීම; නොසැලකීම; නොතැකීම.
2. නා. කල්පනාකාරී නොවීම; පරිස්සම් නොවීම.

නොසියමනා

වි. නොසතුටු සිත් ඇති; ද්වේශ සහගත සිත් ඇති.

නොසිරිත

නා. වැරදි සිරිත; නොකළ යුතු සිරිත; සම්මතය නොලත් චාරිත්‍ර.

නොහරනවා

ක්‍රි. අත් නොහරිනවා; මුදා නොහරිනවා.

නොහසළ

වි. ආශ්‍රය නොකළ; හුරු-පුරුදු නොකළ; නොහදාළ.

නොහැක්මුණු

වි. හික්මීමක් නැති; අවිනීත; අසංවර; අශික්ෂිත.

නොහැකියාව

1. නා. බැරිකම; අසමත්කම; දුබලතාව.
2. නා. බාධාව; අවහිරය; සම්බාධකය.

නොහැල

වි. ඇල් නොවූ; උණුසුම්; උෂ්ණ ඇති.

නොහිම්

වි. සීමාවක් නැති; ප්‍රමාණ රහිත.

නොහෙනවා

ක්‍රි. බැරි වෙනවා; අසමත් වෙනවා; නොපිළිවන් වෙනවා.

නොහෙන්නා

නා. නොහැකි තැනැත්තා; අසමත් තැනැත්තා.

නොහොත

නි. නොවේ නම්; නැතහොත්; නොපිළිවන් වෙනවා.

නොහොඳ

1. නා. යහපතින් තොරබව; අයහපත; නරක.
2. නා. අමනාපය.

නොහොබනා

1. වි. නොබබළන; ශෝභමාන නොවූ;
2. වි. නුසුදුසු; නොමනා.

නෝංජල්

වි. නිවට; නියාලු; බයාදු; බැගෑපත්; බෙලහීන.

නෝක්කඩුව

නා. මැසිවිල්ල; දොස් දැක්වීම; අපවාදය.

නෝට්ටුව

නා. මුදල් කොළය; නියමිත මුදල් ගණනක් වෙනුවෙන් නීත්‍යනුකූල මුදල් ආයතනයකින් නිකුත් කෙරෙන මුද්‍රිත කඩදාසිය.

නෝම්බි

නා.ප්‍ර. ඉස්ලාමික හෙවත් මහමදික උපවාසය; මුළු දිවා කල තුළ දියරක් හෝ ඝන ආහාරයක් නොගැනීමේ මහමදික ව්‍රතය.

නෞකාව

නා. විශාල ජල යාත්‍රාව; නැව.