අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 297

වැකුණු

වි. ගෑවුණු; තැවරුණු; ‘වැකෙනවා’ යන්නෙහි අතීත කෘදන්ත

වැජඹෙනවා

ක්‍රි. උසස් ලෙස ජීවත් වෙනවා; ඉහළ තලයක සිටිනවා

වැටකඩුලු

නා.ප්‍ර. වැට හා ඉන් පනින තැන්

වැටකොළු

නා.ප්‍ර. එළවළු විශේෂයක්

වැටලීම

නා. පැන යා නොදී රැකවල් ලෑම

වැඩපළ

නා.ප්‍ර. කර්මාන්ත ශාලාව/ සේවය; මෙහෙය

වැඩමුළුව

නා. යම් විෂයයක ප්‍රායෝගික ව නියැළෙමින් සාකච්ඡා කිරීම; සම්මන්ත්‍රණය

වැඩිදියුණු

නා.ප්‍ර. යමක් පවතින මට්ටමට වඩා උසස් වීම; සංවර්ධනය

වැඩිමහලු

වි. වයසින් වැඩිහිටි

වැඩුණු

වි. වර්ධනය වූ; වැඩෙනවා යන්නෙහි අතීත කෘදන්තය

වැදැලි

නා.ප්‍ර. කුට්ටිය; කැබැල්ල

වැනසෙනවා

ක්‍රි. විනාශ වෙනවා

වැන්දඹු

වි. සැමියාගේ හෝ බිරිඳගේ හෝ මරණින් පසු අවිවාහක ව සිටින (පා. සං. විධවා)

වැනීම

නා. එහා මෙහා කිරීම/ වර්ණනාව

වැනෙනවා

ක්‍රි. සෙලවෙනවා; පැද්දෙනවා

වැරහැලි

නා.ප්‍ර. දිරාගිය රෙද්ද; කඩමාල්ල

වැල

1. නා. ලතාව; ලණුව (පා. සං. වල්ලි) 2. මාලය; මුතුපට/ පෙළ; පංතිය (පා. ආවලි සං. ආවලි, ආවලී)

වැලඳගන්නවා

ක්‍රි. සිපගන්නවා/ ‍වෙළාගන්නවා/ පිළිගන්නවා

වැලඳෙනවා

ක්‍රි. බෝවෙනවා; ඇති වෙනවා

වැලපෙනවා

ක්‍රි. අඳෝනා කියමින් හඬනවා

වැලහිනිය

නා. වලහා යන්නෙහි ස්ත්‍රී ලිංග පදය

වැල් පොලිය

නා. මුල් මුදලට පොලියත් එකතු වූ පසු ලැබෙන මුළු මුදලට ගෙවන පොලිය

වැල්ලබඩ

නා.ප්‍ර. වෙරළාසන්න ප්‍රදේශය

වැලි

නා.ප්‍ර. සිහින් ගල් කැබලි වැනි ද්‍රව්‍ය; වාලුකා (පා. සං. වාලුකා) නි. නැවත; යළි