අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 298

වැලිකෙළිය

නා. වැලිවලින් කුඩා ළමුන් කරන සෙල්ලම/ බාල කාලය

වැලිතලප

නා.ප්‍ර. සිංහල රසකැවිලි විශේෂයක්

වැලිතලාව

නා. මෘදු වැලි සහිත බිම

වැලිපිල්ල

නා. අකුරු ලිවීම සඳහා අතීතයේ භාවිත කළ වැලි ඇතිරූ ලෑල්ල

වැලිමළුව

නා. වැලි ඇතිරූ මිදුල

වැවිල්ල

නා. වගාව; භෝගය

වැසි සළුව

නා. වස් වසන භික්ෂූන්ට පූජා කරන වස්ත්‍ර විශේෂයක් (පා. වස්සික සාටිකා)

වැසිකිළිය

නා. මලපහ කරන කුටිය (පා. වච්චකුටි)

වැහිකළුව

නා. වැහි වලාකුළ

වැහිවලාව

නා. වැස්ස ඇති කරන වලාකුළ

වැළ

නා. පැත්ත; පාර්ශ්වය වි. ඉදුණු

වැළකීම

නා. නැවැත්වීම; අවහිර කිරීම

වැළඳීම

නා. ‘වළඳනවා’ යන්නෙහි භාව නාමය

වැළමිට

නා. බාහුවේ ඉහළ කොටසත් පහළ කොටසත් සම්බන්ධ වන ස්ථානය

වැළලෙනවා

ක්‍රි. පසට යට වෙනවා; යටපත් වෙනවා

වැළහෙනවා

ක්‍රි. සැඟවෙනවා/ අතුරුදන් වෙනවා

වැළැක්ම

නා. බාධා කිරීම

විංශතිය

නා. විස්ස (සං. විංශති)

විංශෝත්තරී

නා.ප්‍ර. ජ්‍යෝතිෂයේ සඳහන් දශා ප්‍රභේදයක්/ අවුරුදු එකසිය විස්ස

විකරණය

නා. ව්‍යාකරණයෙහි දී ධාතු ගණ වෙන් කොට බෙදා ලන ප්‍රත්‍යය (පා. සං. විකරණ)

විකර්ණය

නා. බහු අස්‍රයක මිත්‍ර කෝණ නොසෑදෙන ශීර්ෂ දෙකක් යා කරන රේඛාව

විකර්ෂණය

නා. ආපස්සට හෝ ඉවතට හෝ යැවීමේ බලය

විකල

වි. ප්‍රකෘති තත්ත්වයේ නොමැති (සං. විකල)

විකලාංග

නා.ප්‍ර. විකෘති වූ අත් පා ආදිය