අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 381

හෙළ

1. වි. සුදු; ඵළ (පා. සෙත සං. ශ්වෙත) 2. සිංහල (පා. සීහළ)

හෙළ අටුවා

නා.ප්‍ර. පාලි අට්ඨකථාවන්ට කළ සිංහල පරිවර්තනය (පා. සීහළට්ඨකථා)

හෙළ බස

නා. සිංහල භාෂාව

හෙළ හවුල

නා. සිංහල බස පිළිබඳ ගුරුකුලයක නාමය

හෙළදිව

නා. සිංහල දීපය; ලක්දිව

හෙළනවා

ක්‍රි. පහත දමනවා

හෙළලු

වි. සුදට හුරු පාට ඇති; එළලු

හෙළා දකිනවා

ක්‍රි. පහත් කොට සලකනවා; නින්දා කරනවා/ ප්‍රතික්‍ෂේප කරනවා; බැහැර කරනවා

හෙළැඹුල්

නා.ප්‍ර. සුදු නෙළුම්; හෙල්මැලි

හෙළි

නා.ප්‍ර. එළිමහන; මිදුල/ එළිය; ආලෝකය/ ශුද්ධ පවිත්‍ර කිරීම

හෙළිදරව්ව

නා. රහසිගත දෙයක් ප්‍රකට කිරීම

හෙළිපත

නා. උළුවස්සෙහි උඩ හා යට තිබෙන හරස් පඩි කඳන් දෙක; එළිපත

හෙළිපෙහෙළි

වි. අනාවරණය වූ

හෙළු

නා.ප්‍ර. සිංහල; එළු; හෙළ (පා. සීහළ)

හෙළුව

නා. සිංහලයන්ගේ බස

හේතුප්‍රත්‍යය

නා.ප්‍ර. චිත්ත චෛතසික ධර්මයන්හි ඇතිවීමට හා පැවැත්මට හේතු වශයෙන් ආධාර වන ධර්මය (පා. හෙතුපච්චය සං. හෙතුප්‍රත්‍යය)

හේතුභූත

වි. යමකට හේතු වී ඇති

හේදණ්ඩ

නා. ඇළ දොළ ආදියෙන් එතෙර වීම සඳහා දමන ලී කඳ; ඒදණ්ඩ

හේලංකඩ

නා. වහලේ සිට ජලය වැටෙන ස්ථානය; අගුව

හේෂාරාවය

නා. අශ්වයා නඟන හඬ; අශ්වනාදය (සං. හෙෂාරව පා. හෙසාරව)

හොණ්ඩරය

නා. මිනුම් ඒකකයක්; රාත්තල් 112 ක බර ප්‍රමාණය

හොඬය

නා. අලි ඇතුන්ගේ හොඬවැල/ සමනලයාගේ හිසෙහි පිහිටා තිබෙන දිග නළය; ශුණ්ඩාව (සං. ශුණ්ඩා)

හොඬරවාලු

නා.ප්‍ර. කෙසෙල් විශේෂයක්

හොබන

වි. බබළන; යහපත්; සොබන (සං. ශොභන පා. සොභන)