අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 62

උරණ

වි. කුපිත වූ; උදහස් වූ

උරතලය

නා. පපුව; ළපැත්ත; වක්ෂස්ථලය (සං. උරස්ථල)

උරනවා

ක්‍රි. මුඛයෙන් හෝ නාසයෙන් ඇතුළට ඇදගන්නවා; මුඛයෙහි ලා සූප්පු කරනවා

උරමඬල

නා.ප්‍ර. පපු පෙදෙස

උරමාලය

නා. උරහිසෙහි හෝ බාහුවෙහි ඉහළ පලඳින ආභරණයක්; ගෙලෙහි පලඳින දිග දම්වැල/ කර වටා දමන ලේන්සුවක් වැනි රෙදිකඩ/ නැට්ටුවන් හෝ බෙරකරුවන් හෝ පලඳින තලප්පාව

උරමේඛලාව

නා. පෘෂ්ඨවංශීන්ගේ පූර්ව ගාත්‍රා සන්ධානය වී තිබෙන ඇට වළල්ල

උරස්ත්‍රාණය

නා. පපුව ආරක්ෂාවට පලඳින සම් වැස්ම; සන්නාහය (සං. උරස්ත්‍රාණ)

උරුලෑවා

නා. මාංස භක්ෂක කුඩා සිවුපාවෙක්

උරෝස්ථිය

නා. පපු ඇටය; උරතලය (සං. උරොස්ථි)

උල

1. නා. තියුණු තුඩක් සහිත ලෝහ හෝ දැව හෝ උපකරණය (පා. සූල සං. ශූල) 2. උල්පත

උලමා

නා. බකමූණු පවුලට අයත් නිශාචර පක්ෂියෙක්

උල්කටුව

නා. පන්හිඳ/ ලෝහ හා ලාක්ෂා කර්මාන්තයෙහි දී භාවිත වන උපකරණයක්; තියුණු තුඩක් සහිත උපකරණයක්

උල්කාපාතය

නා. ග්‍රහ ලෝකවලින් නික්මෙන පාෂාණ පොළොවට පතිත වීම (සං. උල්කාපාත)

උල්කාශ්මය

නා. ග්‍රහලෝකවලින් ගිලිහී පෘථිවි වායු ගෝලයේ දී විනාශ නොවී පොළොවට පතිත වන විශාල පාෂාණය (සං. උල්කාශ්ම)

උල්දිය

නා. පොළොවෙන් උනන ජලය

උල්පත

නා. මූලාරම්භය/ පොළොවෙහි දිය මතු වන ස්ථානය

උල්පන්දම

නා. අනුබලය; වැරදි දෙයකට රුකුල් දීම

උල්ලංඝනය

නා. ඉක්මවා යෑම; කඩ කිරීම (පා. උල්ලඞ්ගන)

උල්ලසිත

වි. බබළන; දිලිසෙන (සං. උල්ලසිත)

උල්ලාසය

නා. ප්‍රමුදිතභාවය/ පරිච්ඡේදය; කාණ්ඩය; කතාන්දරය (සං. උල්ලාස)

උල්ලිත්ත

වි. සුනු ආදිය ගාන ලද; කපරාරු කරන ලද (පා. උල්ලිත්ත)

උල්ලේඛනය

නා. ප්‍රකට කොට දැක්වීම; පිට කිරීම/ කෘශ කිරීම (සං. උල්ලෙඛන)

උලැඟි

වි. ඉහළට නැඟුණු/ ඉක්මවූ (පා. සං. උල්ලඞ්ඝිත)

උලුක් කරනවා

ක්‍රි. පහර දීමට මෙන් අවි ආයුධ ඔසවනවා (දෙ. உறுக்கு)