අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 61

උපාර්ජනය

නා. සපයා ගැනීම; රැස් කිරීම (සං. උපාර්ජන)

උපාලම්භය

නා. අවමන් කිරීම; ගැරහීම/ ඇඟට අත ගසා දිවිරීම (සං. උපාලම්භ)

උපාහනය

නා. පාවහන; පාදුකාව (පා. උපාහනා)

උපුටනය

නා. ඉදිරීම; උද්ධරණය/ ලේඛනයකින් හෝ කථා ආදියෙන් හෝ ගත් උද්ධෘතය (පා. උප්පාටන සං. උත්පාටන)

උපුල්වන්

නා.ප්‍ර. උත්පලවර්ණ දෙවි/ මහනෙල් මලෙහි පැහැය (පා. උප්පලවණ්ණ)

උපේක්ෂාව

නා. අන්තගාමී නොවීම; මධ්‍යස්ථ බව (සං. උපෙක්‍ෂා)

උපොසථසීලය

නා. ගිහියන් පොහෝ දින සමාදන් වන සීලය (පා. උපොසථසීල)

උපෝෂිත

වි. පොහොය පිළිබඳ වූ; පොහෝ දිනයෙහි පෙහෙවස් සමාදන් වූ (බෞ.සං. උපොෂිත පා. උපොසථ)

උපෝසථාගාරය

නා. භික්ෂූන් විනය කර්ම කරන ස්ථානය; පෝය ගෙය (පා. උපොසථාගාර)

උභතෝකෝටික

වි. කෙළවරවල් දෙකක් ඇති/ දෙ ආකාරයකට තේරුම්ගත හැකි/ ස්ථිර විසඳුමක් දිය නොහැකි (පා. උභතොකොටික)

උභය

වි. දෙ ආකාර වූ; දෙකක් සහිත (පා. සං. උභය)

උභයකුල

නා.ප්‍ර. මවුපිය දෙපාර්ශ්වය; මවුපිය දෙදෙනාගේ පරපුර (පා. සං. උභය+කුල)

උභයචාරී

වි. දෙපසෙහි හැසිරෙන (සං. උභයචාරීන්)

උභයජීවියා

නා. දියගොඩ දෙකෙහි ම වසන සත්ත්වයා

උභයරාශිය

නා. චර හා ස්ථිර යන ගුණ දෙකින් ම යුත් රාශිය (සං. උභය+රාශි)

උභයාර්ථය

නා. අර්ථ දෙක/ මෙලොව හා පරලොව යහපත/ ආත්මාර්ථය හා පරාර්ථය (සං. උභයාර්ථ)

උමග

නා. පොළොව යටින් හරස් අතට කැණ සෑදූ මාර්ගය (පා. උම්මග්ග සං. උන්මාර්ග)

උමයංගනා

නා.ප්‍ර. ශිව දෙවියන්ගේ පතිනිය; පාර්වතී හෙවත් උමා දෙවඟන (සං. උමයඞ්ගනා)

උම්බලකඩ

නා.ප්‍ර. මාළු වියළා සකස් කර ගන්නා ව්‍යංජන රසකාරකයක්

උයන

නා. උද්‍යානය (පා. උය්‍යාන සං. උද්‍යාන)

උයන් කෙළි

නා.ප්‍ර. උද්‍යානයන්හි විනෝදය තකා කරන ක්‍රීඩා (සං. උද්‍යාන+ක්‍රීඩා)

උයන්පල්ලා

නා. උයන රැකබලා ගන්නා තැනැත්තා (සං. උද්‍යානපාලක)

උරගල

නා. රන් රිදී ආදියෙහි සංයුතිය බැලීම සඳහා භාවිත කරන ගල් විශේෂය; නාහස්නා පහණ (දෙ. உரைகல்)

උරචක්‍රමාලය

නා. ගිනිගෙන දිලිසෙන ශිලාමය ආයුධ විශේෂයක්