අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 60

උපසත්කාරය

නා. ඉතා සැලකිල්ලෙන් කරන ඇප උපස්ථානය

උපසම්පදාව

නා. සාමණේරයන් වහන්සේලා අධිශීලයෙහි පිහිටුවන විනය කර්මය (පා. උපසම්පදා)

උපසර්ග

නා.ප්‍ර. නාමයක හෝ ක්‍රියා ධාතුවක මුලට එක් වී අර්ථය වෙනස් කරන ප, පර, අව ආදි අව්‍ය පද/ උවදුර; පීඩාව (සං. උපසර්ග පා. උපසග්ග)

උපස්තම්භක

වි. අනුබල දෙන; රුකුලක් වන (සං. උපස්තම්භක)

උපස්තරය

නා. පොළොව මතුපිට පස් තට්ටුවට යටින් ඇති අජීවී තට්ටුව; යටිතලය (සං. උපස්තර)

උපස්ථානය

නා. සමීඵයට එළඹ සිටීම/ සත්කාරය; ආවතේව කිරීම (සං. උපස්ථාන)

උපස්ථායකයා

නා. සමීපයෙහි සිට ආවතේව කරන්නා; රෝගියකු රැකබලා ගන්නා තැනැත්තා (බෞ.සං. උපස්ථායක)

උපස්ථිත

වි. සමීපයට පැමිණි (සං. උපස්ථිත)

උපහාසාලාප

නා.ප්‍ර. හාස්‍යය මුසු වූ සරදම් කතාව (සං. උපහාස+ආලාප)

උපහැරණය

නා. නිදර්ශනය

උපාංගය

නා. අමතර කොටස; අප්‍රධාන අවයවය (පා. සං. උපාඞ්ග)

උපාඛ්‍යානය

නා. උපකථාව; අතුරු කථාව; වෘත්තාන්තය (සං. උපාඛ්‍යාන)

උපාදානය

නා. තදින් අල්ලා ගැනීම/ යමක පැවැත්මට උපකාර වන දෙය (පා. සං. උපාදාන)

උපාදානස්කන්ධ

නා.ප්‍ර. කාමාදි සතර උපාදානයන්ට ගෝචර වන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ධර්ම පහ

උපාධ්‍යායාචාර්ය

නා.ප්‍ර. පැවිදි කිරීමේ හා උපසම්පදාව ලබාදීමේ කටයුතුවලට මුල් වන ගුරුවරයා; ධර්ම විනය උගන්වන්නා (සං. උපාධ්‍යාය+ආචාර්ය)

උපාධිධරයා

නා. උපාධියක් ලැබූ තැනැත්තා

උපාධිය

නා. උසස් අධ්‍යාපන ආයතනයකින් ප්‍රදානය කෙරෙන උගත්කමේ මට්ටම හැඟවෙන නාමය; ගරු නාමය (සං. උපාධි)

උපායකෞශල්‍යය

නා. කාර්යයක් සාර්ථක කර ගැනීමට යොදන උපක්‍රමයන්ගේ නිපුණ බව (බෞ.සං. උපායකෞශල්‍ය)

උපායඥ

වි. උපාය දන්නා වූ; උපායෙහි දක්ෂ (සං. උපායඥ)

උපායඥානය

නා. උපක්‍රමශීලී නුවණ

උපායදූතයා

නා. කිසියම් ප්‍රයෝගයකින් වරදකරුවන් අල්ලා ගැනීමට යොදවන තැනැත්තා

උපායනය

නා. පඬුරු; තෑග්ග/ උත්පාදනය; සපයා ගැනීම (පා. සං. උපායන)

උපායාසය

නා. දැඩි ආයාසය (පා. උපායාස)

උපාරම්භය

නා. දෝෂාරෝපණය (පා. උපාරම්භ)