අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 63

උලුප්පනවා

ක්‍රි. මතු කරනවා; ගලවනවා (සං. උත්පලවතෙ)

උලුහාල්

නා.ප්‍ර. ඖෂධයක් වශයෙන් හා ආහාර රසකාරකයක් වශයෙන් භාවිත කෙරෙන ධාන්‍ය විශේෂයක් (දෙ. உலுவா (அரசி))

උලෙල

නා. උත්සවය; සැණකෙළිය/ කැලඹීම (පා. සං. උල්ලොල, උල්ලොලිත සං. උල්ලොඩ)

උවටැන්

නා.ප්‍ර. උපස්ථානය; උපහාරය; ගෞරවය (ප්‍රා. උවට්ඨාන පා. උපට්ඨාන සං. උපස්ථාන)

උවමනාව

නා. ඕනෑකම; අවශ්‍යතාව

උවසර

නා.ප්‍ර. ළංවීම; ආශ්‍රය; සත්කාරය; ගරු බුහුමන (පා. සං. උපචාර)

උවාරණ

නා.ප්‍ර. අවශ්‍ය දේ; උපකරණ (පා. සං. උපකරණ)

උෂ්ණත්වමානය

නා. උෂ්ණත්වය මනින උපකරණය; උණකටුව

උෂ්ණත්වය

නා. උණුසුම් බව; උෂ්ණගතිය (සං. උෂ්ණත්ව)

උෂ්ණය

නා. උණුසුම; උණුසුම් ගුණය; ගිනියම (සං. උෂ්ණ)

උෂ්ණාධික

වි. උණුසුම් බවින් වැඩි; ගිනියම් බවින් ඉහළ (සං. උෂ්ණ+අධික)

උෂ්ණීෂය

නා. නළල් පට/ තලප්පාව/ බුදු පිළිමයෙහි සිරස්පත (සං. උෂ්ණීෂ)

උෂ්ණෝදකය

නා. උණු වතුර (සං. උෂ්ණ+උදක)

උස්පිළ

නා.ප්‍ර. පැරණි නිවෙස්වල ස්තෝප්පු දෙපසින් ඇති බිත්ති කඳ; කයියෝරුව

උසිත

වි. ආඪ්‍ය වූ; බහුල වූ (සං. උත්සික්ත)

උසුරනවා

ක්‍රි. උච්චාරණය කරනවා (ප්‍රා. උච්චාරෙඉ පා. උච්චාරෙති සං. උච්චාරයති)

උසුලනවා

ක්‍රි. දරා ගන්නවා; වාවනවා (ප්‍රා. උච්චාලෙඉ පා. උච්චාලෙති සං. උච්චාලයති)

උසුළු විසුළු

නා.ප්‍ර. විහිළු තහළු; කවටකම්

උළනවා

1. ක්‍රි. තදකොට අතුල්ලනවා; ගානවා 2. ලෝහ ආදිය රත් කරනවා

උළව්ව

නා. ඉළව්ව

උළා කනවා

ක්‍රි. සූරාගෙන හෝ ගලවාගෙන කනවා

උළාර

වි. උතුම්; උදාර (පා. උළාර)

උළිඳු

නා.ප්‍ර. චන්ද්‍රයා

උළු

1. නා.ප්‍ර. වහල සෙවිලි කිරීමට මැටියෙන් තැනූ වැසුම් කැට/ ගඩොල (පා. ඉට්ඨකා) 2. තාරකාව/ චන්ද්‍රයා (පා. උළු සං. උදු) 3. උණු