අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 66

එකසර

වි. එකලාව හැසිරෙන; තනි ව ජීවත් වන (පා. එකචර)

එකසේසත්

වි. එක ම සේසතකට යටත්; එක ම පාලනයකට අයත් (පා. එකච්චත්ත සං. එකච්ඡත්‍ර)

එකහෙළා

ක්‍රි.වි. එක්වර; නිශ්චය වශයෙන්

එකුන්

වි. එකකින් ඌන වූ; එකක් අඩු වූ (පා. එක+ඌන)

එකෙණෙහි

ක්‍රි.වි. ඒ මොහොතෙහි; ඒ ඇසිල්ලෙහි; ඒක්ෂණයෙහි

එකොළහ

නා. දහයට එකකින් වැඩි ගණන

එඬේරා

නා. ගව, මහිෂාදීන් හෝ එළු බැටළු ආදීන් බලා ගන්නා තැනැත්තා

එන්නත

නා. රෝග වැළැක්වීමට ශරීරගත කරන ප්‍රතිෂේධ ඖෂධය (ල. intenten)

එපමණ

නා. ඒ ප්‍රමාණය; ඒ තරම

එබඳු

වි. එවැනි; ඒ ආකාර

එරමිණිය

නා. අරමිණිය

එරමිණියා

නා.ප්‍ර. වැලක් සේ වැඩෙන කටු සහිත ශාක විශේෂයක්

එරුණු

වි. ‘එරෙනවා’ යන්නෙහි අතීත කෘදන්ත පදය

එල්බෙනවා

ක්‍රි. එල්ලෙනවා (පා. ඔල්මබතෙ සං. ආලම්බති)

එල්ලුම් ගස

නා. මරණීය දණ්ඩනය ලබාදීමට භාවිත වන වධෝපකරණයක නාමය; පෝරකය

එල්ලෙනවා

ක්‍රි. ආධාරකයක් වශයෙන් යමක් ග්‍රහණය කරගන්නවා

එසැණින්

ක්‍රි.වි. ඒ මොහොතෙහි

එළ

වි. සුදු; ධවල/පිරිසිදු; ශුද්ධ/ සිංහල; හෙළ

එළඟිතෙල්

නා.ප්‍ර. එළකිරෙන් වෙන් කර ගන්නා තෙල්; ගිතෙල්

එළදෙන

නා. එළහරකාගේ ගැහැනු සතා

එළනවා

ක්‍රි. පහතට දමනවා; අතුරනවා/ හෙළනවා

එළබටු

නා.ප්‍ර. දේශීය බටු වර්ගයක නාමය

එළඹෙනවා

ක්‍රි. ළඟට එනවා; සමීපයට පැමිණෙනවා

එළලනවා

ක්‍රි. වස්ත්‍රයක ඉරුණු තැන් දිග අතට හා හරස් අතට නූල් ඇද මහනවා (දෙ. இழையாடு)