අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 67

එළලු

වි. සුදු; සුදට හුරු වූ

එළවනවා

ක්‍රි. ඉදිරිපිටට පමුණුවනවා; අභිමුඛ කරනවා/ ලබා දෙනවා/ පලවා හරිනවා; පන්නනවා/ මෝටර් රථයක් පදවනවා

එළවළු

නා.ප්‍ර. ව්‍යංජන සඳහා ගන්නා කොළ, ගෙඩි, මල්, කරල් ආදිය.

එළාගන්නවා

ක්‍රි. බිම අතුරා ගන්නවා; දිග අරිනවා; සතෙක් මරා ගන්නවා

එළාර

නා.ප්‍ර. ද්‍රවිඩ රජ කෙනකුගේ නාමය

එළිකරනවා

ක්‍රි. අලෝක කරනවා/ ශුද්ධ කරනවා/ සැඟවුණු යමක් ප්‍රකාශයට පත් කරනවා; හෙළි කරනවා

එළිදරව්ව

නා. අනාවරණය කිරීම; ප්‍රකට කිරීම

එළිපත

නා. උළුවහුවල ඇති යට පඩිය; දොරකඩ; කවුලුවක පහත පඩිකඳ

එළිපෙහෙළි

වි. ආවරණය නොවූ; විවෘත වූ

එළිමහන

නා. ගස් කොළන්, ගොඩනැගිලි නොමැති විවෘත ප්‍රදේශය

එළිය

නා. ආලෝකය; සූර්යාලෝකය/ අවකාශය; එළිමහන/ එළිවැට; එළිසමය

එළිල්ලෙන්

ක්‍රි.වි. උක්කුටිකයෙන්; අඩදැණි ව

එළිවැට

නා. සිවුපද පද්‍යයක පාද සතරේ යෙදෙන එක සමාන අකුරු පෙළ

එළිසමය

නා. එළිවැට

එළුබස

නා. සිංහල භාෂාව

එළුව

නා. හෙළ බස

එළුවා

නා. ක්ෂීරපායී සිවුපසා සතකුගේ නාමය (පා. එළක සං. එඩක)

එළුසඳැස් ලකුණ

නා. සිංහල ඡන්දස් ශාස්ත්‍රය පිළිබඳව රචනා වූ කෘතියක්

ඒකක්ෂණය

නා. එක ම මොහොත; ඉතා සුළු කාල ප්‍රමාණය; එක් සැණ (පා. එකක්ඛණ)

ඒකකෝලාහල

නා.ප්‍ර. එක සේ පැතිරුණු මහත් හඬ (පා. එකකොලාහල)

ඒකචර්යාව

නා. තනි ව හැසිරීම

ඒකච්ඡත්‍ර

වි. එක ම සේසතට යටත් වූ; එක ම ආඥාවක් යටතේ පාලනය වන (සං. එකච්ඡත්‍ර)

ඒකච්ඡන්දය

නා. එක ම කැමැත්ත; සමාන වූ කැමැත්ත (පා. එකච්ඡන්‍ද)

ඒකච්ඡිද්‍රය

නා. එක් සිදුරක් ඇති (සං. එක+ඡිද්‍ර)