අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 65

ඍග්වේදය

නා. චතුර්වේදයෙහි පළමුවැන්න (සං. ඍග්වෙද)

ඍජු

වි. ඇද නැති/ අවංක; අකුටිල (සං. ඍජු)

ඍජු රේඛාව

නා. ලක්ෂ්‍ය දෙකක් යා කරන කෙටි ම රේඛාව

ඍජුකෝණය

නා. අංශක 90 කින් යුත් කෝණය

ඍජුකෝණාස්‍රය

නා. සියලු කෝණ ඍජුකෝණ වූත් අභිමුඛ පාද සමාන වූත් දිගටි චතුරස්‍රය; ආයත සමචතුරස්‍රය

ඍණ

වි. බින්දුවට වඩා වටිනාකමින් අඩු නා.ප්‍ර. ආපසු ගෙවීමට ගත් මුදල් ආදි දෙය; ණය/ අඩු කිරීමේ ලකුණ (සං. ඍණ)

ඍණාග්‍රය

නා. කෝෂයක අඩු විද්‍යුත් විභවයෙන් යුතු අග්‍රය; කැතෝඩය

ඍණිත

වි. ණයට ගත්

ඍතය

නා. ලෝකය හා ස්වභාව ධර්මය පාලනය කරන්නා වූ නියාම ධර්මය; ලෝක නියාමය (සං. ඍත)

ඍතු කාලය

නා. ඔසප් කාලය (සං. ඍතුකාල)

ඍතු විපර්යාසය

නා. ඍතූන්ගේ වෙනස්වීම

ඍතුව

නා. සුදුසු හෝ යෝග්‍ය කාලය

ඍද්ධි ප්‍රාතිහාර්යය

නා. ඍද්ධිමය බලයෙන් කරනු ලබන ආශ්චර්යවත් වූ ප්‍රාතිහාර්යය (බෞ.සං. ඍද්ධිප්‍රාතිහාර්ය)

ඍද්ධිය

1. නා. වර්ධනය; වැඩීම (සං. ඍද්ධි) 2. භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය (පා. ඉද්ධි සං. ඉද්ධි)

ඍෂභ

නා.ප්‍ර. සප්තස්වර අතුරින් දෙවැන්න; ‘රි’ ස්වරය/ ගොනා (සං. ඍෂභ)

ඍෂි

නා.ප්‍ර. ඉසිවරයා; මුනිවරයා (සං. ඍෂි)

ඍෂි ප්‍රව්‍රජ්‍යාව

නා. තාපස පැවිද්ද

ඍෂි භාෂිත

වි. ඉසිවරයන් විසින් කියූ

එකඟ

වි. එක අරමුණක පිහිටි; අවික්ෂිප්ත; සමාහිත වූ/ කැමැති; අනුකූල (පා. එකග්ග සං. එකාග්‍ර)

එකනින්නාදය

නා. එකට ගිගුම් දීම; රැව්පිළිරැව් දීම

එකල

ක්‍රි.වි. ඒ කාලයෙහි; ඒ සමයෙහි

එකලස්

නා.ප්‍ර. ක්‍රමවත් කිරීම; කොටස් ක්‍රමවත් ව එකතු කිරීම

එකලා

වි. තනි; හුදකලා (ප්‍රා. එකකල්ලක)

එකලු

වි. සැමතැන ම එක සේ ආලෝක වූ; ඒකාලෝක