සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 1

අ

වර්‍ණ මාලාවේ ආදි අකුරයි. අටවැදෑරුම් ස්වර අතුරෙන් ප්‍රථම ස්වරයයි. කණ්ඨජයි. එකස්ථානජයි, විවෘත සංවෘත කියා දෙ ආකාරයි. ප්‍රකෘති - ආදෙස - ආගම - විකරණ - ප්‍රත්‍යය - ශබ්දාන්ත කියා ආකාරය ස වැදෑරුම්ය. ප්‍රතිෂෙධ, වෘද්ධි, තද්භාව, සමාන, විරුද්ධ, නින්දා, ශූන්‍ය, වියොග, අල්ප, තදභාවාදියෙහි පවත්නා අව්‍යය. න නිපාතයට වන ආදෙශය. (පි. 18)

අං

පු. විෂ්ණු. අකාරස්වරය. (පි. 18)

අංස

පු. න. අංශය, කොටස. කොණ දසරුව, උරහිස.
√ චු. සංඝාතෙ, රැස්වීමෙහි. අංසෙති, රැස්වෙයි. අංසයති, අංසො, අංසා, අංසාති, අරිසරොගො. (පි. 18)

අංසකූට

න. දසරුව (පි. 18)

අංසබන්ධන

න. එක් අංශයක් බඳනා පටිය. උරයක් පළා වැළඳ පරිහරණය කරන පසුම්බිය, අංසකඩය. (පි. 18)

අංසවට්ටක

න. අංසකඩය, ශරීරයෙහි එක්පැත්තක වසන වස්ත්‍රය, උරයක් පලා වැළඳ පරිහරණය කරන පසුම්බිය. අස්වැටිය. (පි. 18)

අංසවද්ධක

න. අංසයෙහි බඳින පටිය, පාත්‍ර පසුම්බිය එල්ලා ගණු පිණිස අංශයෙහි බඳිනා පටිය. “අනුජානාමි භික්ඛවෙ අංස වද්ධකං බන්ධන සුත්තං” (පි. 18)

අංසි

න. කොණ ගැටිය. මුවාත. (පි. 18)

අංසු

පු. න. රශ්මිය. නූල. (පි. 18)

අංසුක

න. වස්ත්‍රය, රෙද්ද. (පි. 18)

අංසුපති

පු. සූර්‍ය්‍යයා (පි. 18)

අංසුමතී

ඉ. අස්වැන්න (පි. 18)

අංසුමාලි

පු. සූර්‍ය්‍යයා (පි. 18)

අක

√ භු. කුටිල ගමනෙහි, වක්ව යාමෙහි අකති, වක්ව යෙයි. (පි. 20)

අකක්කස

ති. කර්‍කශ නොවන, රළු නොවන, මෘදු. (පි. 20)

අකක්කුකත

න. තාවකාලික නොවූ එබඳු වස්ත්‍රය, කඨිනාන්තරයෙහි දී ලැබෙන්නා වූ සම්පත් 47 න් එකක්. (පි. 23)

අකච්ඡ

ති. කථාවට නුසුදුසු, කථාවට අයොග්‍ය. (පි. 20)

අකට

ති. (න+කට) නොකළ, අභිනව, “අකටවිසමුට්ඨානං” (පි. 20)

අකටභාග

න. ආගන්තුක කොටස, අනුමෝදනා බණ සඳහා දෙනලද පිරිකර, නුදුන් පූර්‍වභාගය. (පි. 21)

අකට්ඨපාක

ති. (න+කට්ඨපාක) කෘෂිකර්‍මාන්ත නොකළ භූමිප්‍රදේශයෙහි පැසෙන. පු. දර නැතුව පැසීම. (පි. 21)

අකඨින

න. කඨිනය නොවූ, කඨින සිවුර නොවන. (පි. 21)

අකණ

ති. (න+කණ) කුඩුරහිත, කුඩුනැති. “අකණං අථුසං සුද්ධං සුගන්ධං තණ්ඩුලප්ඵලං”. (පි. 21)

අකණ්ටක

ති. (න+කණ්ටක) කටුරහිත. රාජද්‍රොහීන් රහිත, කුමන්ත්‍ර‍ණකාරයන් රහිත. (පි. 21)

අකණ්හ

ති. (න+කණ්හ) කලු නොවූ. පාපයක් නොවන. නොකිලිටි. (පි. 21)