සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 29

අට්ඨමඞ්ගලස්ස

පු. ඔලුව, වාලධිය, බෙල්ල, දෑලවර, සිවුකුරය යන අටතන්හි සුදු ලප පිහිටි ශ්‍රේෂ්ඨ අශ්වයා. (පි. 37)

අට්ඨමහාපුරිසවිතක්ක

පු. 1. අප්පිච්ඡස්සායං ධම්මො, නායං ධම්මො මහිච්ඡස්ස; 2. සන්තුට්ඨස්සායං ධම්මො, නායං ධම්මො අසන්තුට්ඨස්ස; 3. පවිචිත්තස්සායං ධම්මො, නායං ධම්මො සඞ්ගණිකාරාමස්ස; 4. ආරද්ධවිරියස්සායං ධම්මො, නායං ධම්මො කුසීතස්ස; 5. උපට්ඨිතසතිස්සායං ධම්මො, නායං ධම්මො මුට්ඨස්සතිස්ස; 6. සමාහිතස්සායං ධම්මො, නායං ධම්මො අසමාහිතස්ස; 7. පඤ්ඤවතො අයං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස; 8. නිප්පපඤ්චාරාමස්සායං ධම්මො නිප්ප පඤ්චරතිනො, නායං ධම්මො පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො; යන විතර්‍ක අට. (අඞ්ගුත්තර. 8. නි) (පි. 37)

අට්ඨමිච්ඡත්ත

න. මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යන අට. (පි. 37)

අට්ඨයොග

පු. ගරුඩපක්ෂාකාර සෙවෙනි ඇති ගෘහය, ගුරුළා දෙපැත්තට තටු විහිදාගත් පරිදි වූ පියස්සෙන් යුත් ගෘහය, පලදෙකේ ගෙය. (පි. 39)

අට්ඨවිජ්ජා

ඉ. විදර්‍ශනාදි ඤාණ අට.
විපස්සනාඤාණමනොමයිද්ධි - ඉද්ධිප්පභෙදො ‘පිච දිබ්බසොතං, පරස්ස චෙතොපරියායඤාණං - පුබ්බෙනිවාසානුගතඤ්ච ඤාණං, දිබ්බඤ්ච චක්ඛාසවසඞ්ඛයො ච, එතානි ඤාණානි ඉධට්ටවිජ්ජා.
විදර්‍ශනාඥානය, මනොමයඍද්ධිය, ඍද්ධිප්‍රභෙදඥානය, දිව්‍ය ශ්‍රොත්‍රඥානය, පරචිත්තවිජානනඥානය, පූර්‍වොනිවාසානුස්මෘති ඥානය, දිව්‍යචක්ෂුරභිඥානය, ආශ්‍රවක්ෂයකරඥානය යන නුවණ අට. (පි. 37)

අට්ඨවිධ

ති. අෂ්ටප්‍රකාර, අටවැදෑරුම්. (පි. 37)

අට්ඨවිධකායපාගබ්භිය

න. කය පිළිබඳ බුහුටි බැව් (=නොහික්මුනු කම්) අට. ‘කායපාගබ්භිය’ බලනු. (පි. 37)

අට්ඨවිධදුක්කට

න. 1. පුබ්බයොග දුක්කට, සහපයොගදුක්කට, අනාමාසදුක්කට, දුරුපචිණ්ණදුක්කට, විනයදුක්කට, ඤාතදුක්කට, ඤාත්තිදුක්කට, පටිස්සවදුක්කට යන අට. (පි. 37)

අට්ඨවිධපාන

න. අෂ්ටප්‍රකාර පානවර්‍ග. මී, මුද්දිරප්පලම්, බොරළුදමුනු, උපුල්අල, ඇටකෙහෙල්, මස්කෙහෙල්, අඹ, දඹ යන අෂ්ටවර්‍ගයෙන් කළ පානවර්‍ග අට. (පි. 37)

අට්ඨවිමොක්ඛ

පු. විඤ්ඤාණ ආකාසකසිණයන් හැර ඉතිරි අට කිසුණුහි විමොක්ඛ වශයෙන් උපදවාගත් රූපාවචරධ්‍යාන අට. (අත්ථසාලිනී වීමොක්ඛ කථා බලනු.) (පි. 37)

අට්ඨවීසති

ඉ. අටවිස්ස. 28. (පි. 37)

අට්ඨසත

න. එකසිය අට, 108. (පි. 37)

අට්ඨසතතණ්හා

ඉ. එකසිය අටක් ප්‍රභෙද ඇති තෘෂ්ණාව. රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා යන සය කාම රූප අරූප යන තුණෙන් ගුණ කළ කල්හි 18ක් වේ. එය ආධ්‍යාත්මික බාහිර දෙකින් ගුණ කළ කල්හි 36ක් වේ. එය නැවත අතීත අනාගත වර්‍තමාන යන තුණෙන් ගුණ කළ කල 108ක් වේ. (පි. 37)

අට්ඨාදස

ති. දස අට, 18. (පි. 37)

අට්ඨාන

න. නිකරුණ, සිදුනොවන කාරණය, හේතුරහිත කාරණය. (පි. 37)

අට්ඨානරියවොහාර

පු. අනාර්‍ය්‍යව්‍යවහාර අට, සදොස් කථා අට. එනම් : අදිට්ඨෙ දිට්ඨවාදිතා, අසුතෙ සිතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා, දිට්ඨෙ අදිට්ඨවාදිතා, සුතෙ අසුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා = නොදක්නා ලද්ද දක්නා ලදැයි කීම, නොඅසන ලද්ද අසනලදැයි කීම, ඝාණ ජිව්හා කාය යන තුණෙන් ස්පර්‍ශ කොට නොදැනගන්නා ලද්ද එසේ දැනගන්නා ලදැයි කීම යන සතර හා දන්නා ලද්ද නොදන්නා ලදැයි කීම යනාදී වූ මිට ප්‍රතිපක්ෂ කීම් සතරද යන අටයි. (පි. 37)

අට්ඨානසම්පයොගනය

පු. පදලාලිත්‍යාදිය සඳහා යෙදිය යුත්තන් නුසුදුසු තැනෙක්හි යෙදීමේ නීතිය. (පි. 38)

අට්ඨාසි

ක්‍රි. (අ+ඨා √ භු. ගතිනිවුත්තියං = ගමන් නැවැත්මෙහි - ස+ඊ) සිටියේය. (පි. 38)

අට්ඨි

න. අස්ථි, ඇට, ඵලාදීන්ගේ බීජ.
√ රු. ගතියං, ගමන්හි, අණ්ඨති, ගමන් කෙරෙයි.
ති. (අට්ඨ+ඉ) අර්ථවත්, අර්ථ ඇති.
පු. අකුරු දහසයකින් යුත් ඡන්දස, අෂ්ටි නම් ඡන්දස. (පි. 38)

අට්ඨි(ක)සඞ්ඛලිකා

ඉ. ඇටසැකිල්ල. (පි. 38)

අට්ඨික

න. ඇටය, අස්ථිකය, ඇටසැකිල්ල. (පි. 38)

අට්ඨිකඞ්කල

පු. ඇටසැකිල්ල, අස්ථිපුඤ්ජය. (පි. 38)

අට්ඨිකදලි

ඉ. ඇටකෙහෙල්, ඇටවලින් යුත් කෙහෙල්. (පි. 38)

අට්ඨිකල්‍යාණ

න. උත්තම ස්ත්‍රීන්ගේ ශරීරයෙහි පිහිටන කල්‍යාණ ලක්ෂණවලින් එකක් - “පඤ්චකල්‍යාණ” බලනු. (පි. 38)