සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1041

ප්‍රදීප්ත

වි. ගිනිගත් ; දැල්වෙන ; ඇවිළුණු.

ප්‍රදීපාගාරය

නා. පහන් කණුව ; පහන් වැට.

ප්‍රදීපායමාන

වි. පහනක එළිය වැනි ; ආලෝකය ඇති කරන ; එළිය ගෙන දෙන.

ප්‍රදීපාලෝකය

නා. පහනින් වැටෙන ආලෝකය ; පහන් එළිය.

ප්‍රදුෂ්‍ය

වි. ඉතා කිලිටි; බෙහෙවින් දෝෂ සහිත.
නා.ප්‍ර. දූෂණය ; කිලුට ; කෙලෙසීම.

ප්‍රදේශ රාජ

නා.ප්‍ර. අගරජකු යටතේ රටක් හෝ විශාල පළාතක් පාලනය කරන රජ ; ප්‍රදේශ භූපාලයා ; මණ්ඩලේශ්වරයා.

ප්‍රදේශඥ

නා.ප්‍ර. ඇතැම් විෂය පිළිබඳ ව පමණක් අවබෝධයක් ලබා සිටින්නා ; සීමාසහිත දැනුමක් ඇත්තා.

ප්‍රදේශය

1. නා. කිසියම් දිග පළලකින් යුත් ඉඩ ප්‍රමාණය; භූමි භාගය ; බිම් පෙදෙස.
2. පරිපාලනය සඳහා බෙදා වෙන් කරන ලද භූමි කොට්ඨාසය.
3. කිසියම් පොදු ලක්ෂණයක් සහිත ඒකාබද්ධ බිම් කොටස.
4. (හිස, උදරය වැනි) ශරීර කොට්ඨාස.
5. කොටස ; ඛණ්ඩය ; පරිච්ඡේදය.
6. පාඨය ; වැකිය ; වාක්‍යය.
7. දිසාව ; පැත්ත ; දෙස.

ප්‍රදේශාධිපතියා

[ප්‍රදේශ + අධිපතියා]
නා. පළාතක පාලනාධිකාරය දරන්නා.

ප්‍රදේශාන්තර

[ප්‍රදේශ + අන්තර]
වි. වෙනත් පෙදෙසකට අයත් ; අන්‍ය වූ ප්‍රදේශයක් හා සම්බන්ධ.

ප්‍රදෝෂය

1. නා. බලවත් වෛරය ; අධික ද්වේෂය.
2. සැන්දෑව ; ප්‍රදෝෂ කාලය ; ප්‍රදෝෂ සමය.

ප්‍රධන්

1. වි. ප්‍රධාන ; ශ්‍රේෂ්ඨ ; ප්‍රමුඛ.
2. කෙලෙස් තැවීමේ වීර්යය වඩන ; ප්‍රයත්නයෙන් යුතු.

ප්‍රධන් වීර්යය

නා. (බුදුවීම සඳහා කරන) දෘඪ වීර්යය ; නිවන් ලැබීමට කරන බලවත් උත්සාහය.

ප්‍රධාන

වි. මූලික ; ප්‍රමුඛ ; පළමු ; නායක ; වගකිව යුතු.

ප්‍රධාන වාක්‍යය

1. නා. සංකූල වාක්‍යයක අවසාන ක්‍රියා සම්බන්ධ කරන කොටස.
2. පුවත් පතක මාතෘකා පාඨය ; ශීර්ෂ පාඨය ; උපන්‍යාසය.

ප්‍රධාන විකර්ණය

(පාරිභා.) නා. බහ්වශ්‍රයක (බහු+අශ්‍රයක) ප්‍රධාන කෝණය සාදන සෘජු රේඛාව.

ප්‍රධානත්වය

නා. මූලිකත්වය ; ප්‍රමුඛත්වය ; මුල්තැන ; නායකබව ; අධිපතිබව.

ප්‍රධානයා

නා. මූලිකයා ; ප්‍රමුඛයා ; (යම් ආයතනයක) වගකීම් දරන තැනැත්තා.

ප්‍රපඤ්ච

වි. ප්‍රමාද ; පරක්කු ; අලස ; ක්‍රියාශීලි නොවන.

ප්‍රපඤ්ච කථාව

නා.ප්‍ර. විස්තර කථාව ; විස්තරාත්මක ආඛ්‍යානය.

ප්‍රපඤ්ච ලෝකය

නා. (සම්මුති වසයෙන්) දක්නට ලැබෙන ලෝකය ; ඉන්ද්‍රිය ගෝචර ලෝකය.

ප්‍රපඤ්ච විද්‍යාව

නා. වස්තු පිළිබඳ ව ඉන්ද්‍රිය ගෝචර තත්ත්වය විග්‍රහ කෙරෙන ශාස්ත්‍රය.

ප්‍රපඤ්චත්‍රයය

නා. සත්වයන් සසර ප්‍රමාද කරවන තෘෂ්ණා, මාන, දෘෂ්ටි යන ක්ලේශ තුන.

ප්‍රපඤ්චය

1. නා. ප්‍රමාදය ; පමාව ; ලස් වීම.
2. පමාවට හේතු කරුණ ; ප්‍රමාදය ඇති කරන දෙය.
3. විස්තරය ; විස්තර වසයෙන් දැක්වීම.
4. (භෞතික ලෝකයෙහි) විද්‍යමාන වන දෙය ; ලෞකික සම්මුතිය ; ස්වාභාවික සංසිද්ධිය ; ඉන්ද්‍රිය ගෝචර තත්ත්වය.