සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1098

පිළිහස් තබනවා

(පාරිභා.) ක්‍රි. යමකු විසින් අත්සන තබන ලද ලිපියකට, එය තිර කිරීම් වශයෙන් අනෙකකු ඒ ළඟ ම අත්සන තබනවා.

පිළිහසුන

නා. පිළිතුරු ලියමන.

පිළිහිනි

නා.ප්‍ර. පරණ වීමෙන් භෝජනය සඳහා ආහාර නුසුදුසු වීම ; පිළුණුවීම.

පිළිහුඩු

නා.ප්‍ර. මස් මාලු ; වියළි මස් මාලු.

පිළිහුඩුවා

නා. මාංශ අනුභවයෙන් ජීවත් වන කුරුල්ලෙක්.

පිළී පොතු

නා.ප්‍ර. මසුන්ගේ කොරළ ; මාලු කොර පොතු.

පිළී හැළිය

1. නා. කිලිටි ඇඳුම් තැම්බීමට භාවිත කරන සැළිය ; වෙල්ලා හැළිය.
2. පුරාණයේ දී රෙදිපිළි ඇඳුම් ආදිය තැන්පත් කරන ලොකු හැළි විශේෂය.

පිළීකඩ

නා. රෙදි කැබැල්ල ; කුඩා සාටකය.

පිළීවට

(කථා., උඩ.) නා.ප්‍ර. අඳින වස්ත්‍රයේ ඌර්ධ්ව සීමාව ; පෙකනිය දක්වා ප්‍රමාණය ; උකුළුවට.

පිළීහිස

නා. (හිස දෙපසින් පසු පසට එල්ලෙන නරු පට දෙකක් ඇති) තලප්පාව ; පිළියෙන් කරන ලද හිස් වැස්ම.

පිළුණු

වි. පරණ වූ ; පල් වු ; කුණු වූ.

පී

1. නා.ප්‍ර. පොල් ආදි ගෙඩි පැළවෙන විට ඇතුළේ සෑදෙන මදය ; පැළමදය.
2. ප්‍රීතිය ; සතුට.
3. වැස්ම ; පිධානය.
5. පිහිය.

පීකුදු

නා.ප්‍ර. සතුන්ගේ අක්මාව ; කැවුත්ත ; යකෘතය.

පීටස්

නා.ප්‍ර. (සත්ව.) මවගේ ගර්භාෂය තුළ වැඩෙන අවයව සෑදීමෙන් පසු උත්පත්තිය දක්වා වූ දරුවා.

පීඨය

1. නා. පුටුව ; ආසනය ; පර්යඞ්කය.
2. විශ්වවිද්‍යාලයක එක් ක්‍ෂේත්‍රයකට අයත් විෂය පිළිබඳ පාඨමාලා සහිත අධ්‍යයනාංශ සංඛ්‍යාවකින් සමන්විත පරිපාලන ඒකකය.
3. පිළ ; වේදිකාව.
3. කොරාගේ සැරයටිය.

පීඨශාලාව

නා. ගෘහ පූර්වයෙහි වෙළඳ බඩු ගැනීම පිණිස සාදන ලද වේදිකාවක් ඇති ශාලාව ; සල්පිල.

පීඨිකය

නා. පූජාසනය අල්තාරය ; යාග ඵලකය.

පීඩතාපකය

(පාරිභා.) නා. පීඩනයක් අධික උෂ්ණත්වයක් යටතේ යමක් තැම්බීම පිණිස ගන්නා වූ ඝන පැති සහිත භාජනය.

පීඩන ආනතිය

(පාරිභා.) නා. සඳහන් කරන ලද ස්ථානයක එක්තරා කාල සීමාවක් තුළ හටගෙන තිබෙන වායුගෝලීය පීඩනයේ වෙනස.

පීඩන තාපලේඛය

(පාරිභා.) නා. (භූගෝ.) වායුගෝලීය පීඩනයෙහි හා තාපයෙහි වන වෙනස්වීම් සටහන් වන උපකරණයක්.

පීඩන තීරය

(පාරිභා.) නා. (භූගෝ.) වායුගෝලයේ පීඩනය ඇති වන කලාපයක්.

පීඩන දර්ශකය

(පාරිභා.) නා. වායුගෝලීය පීඩනයෙහි වන වෙනස්වීම් කඩදාසියක සටහන් වන උපකරණයක්.

පීඩන පතිතය

(පාරිභා.) නා. වායුගෝලීය පීඩනය එහි වටාපිටාවට වඩා අඩු ප්‍රදේශය.