සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1097

පිළිවා සුළිය

(පාරිභා.) නා. (භූගෝ.) වායුවෙහි පීඩනය ක්‍රමයෙන් පිටතට හීන වන්නා වූ වැඩි පීඩන මණ්ඩලය.

පිළිවැරළි

නා.ප්‍ර. පරණ වූ රෙදිකඩ ; පාන්කඩ.

පිළිවැස්ම

1. නා. වළන්, මාලු ආදී යමක් ගෙනයෑම සඳහා ගොක්කොළ වලින් සාදා ගන්නා කූඩය.
2. ආවරණය ; වැස්ම.
3. වැඩපළ කිරීමේ දී ඇඟ ලා ගන්නා උඩ ඇඳුම ; බාහිරාවරණය ; බාහිර ඇඳුම.

පිළිවිභේදනය

(පාරිභා.) නා. (සෑම වර්ගයකම සෛල හීන කරමින් ඒවා පොදු උදාසීන ස්වභාවයට පත් කරන්නා වූ) විභේදක පටකයක ප්‍රත්‍යාවර්තී වෙනස්වීම.

පිළිවිසිනවා

ක්‍රි. විමසනවා ; විචාරනවා ; තොරතුරු අසා බලනවා.

පිළිවුදු

වි. අවබෝධ කළ ; ප්‍රතිවේධය කළ.

පිළිවෙත්

1. නා.ප්‍ර. පිළිපැදිය යුතු නියම ; අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ; පිරිය යුතු වතාවත්; ඉටු කළ යුතු සිරිත්.
2. ධර්මාධර්ම මාර්ගයෙහි යෙදීම; කුසලාකුසල ක්‍රියාවල හැසිරීම.

පිළිවෙළ

1. නා. සංවිධානය කරන ලද පියවර ; විධිමත් ආකාරය ; ක්‍රමය ; අනුක්‍රමය.
2. (පාරිභා.) නියමය ; විධිය ; ක්‍රමානුගත ප්‍රකාරය.

පිළිවෙළ කථාව

නා. අනුපිළිවෙළින් කරනු ලබන ධර්ම දේශනාව.

පිළිසකර

නා.ප්‍ර. නැවත සකස් කිරීම ; අලුත්වැඩියා කිරීම ; ප්‍රතිසංස්කරණය.

පිළිසතුරු වෙනවා

ක්‍රි. ප්‍රතිපක්ෂ වෙනවා ; සතුරු වෙනවා ; විරුද්ධ වෙනවා.

පිළිසන්

1. වි. වැසුණු ; ආවරණ වුණු.
2. (පාරිභා.) තටු හා පාද ශරීරයට ඇලී තිබීම නිසා නොසෙල්වෙන ස්වභාවයක් ඇති පිළවුන් පිළිබඳ වූ.
1. නා.ප්‍ර. නැවත ඉපදීම ; යළි හට ගැනීම.
2. සමවතින් සිටීම ; විවේකය.

පිළිසඳ

නා.ප්‍ර. දරු ගැබක් පිහිටීම ; ප්‍රතිසන්ධිය.

පිළිසඳ සිත

නා. වර්තමාන චිත්ත පරම්පරාවත් අනාගත චිත්ත පරම්පරාවත් සම්බන්ධ කරන සිත ; ප්‍රතිසන්ධි චිත්තය.

පිළිසඳර

නා.ප්‍ර. හිතවත් ව කතාබහ කිරීම ; සුවදුක් විමසීමෙන් යෙදෙන සතුටු සාමීචිය.

පිළිසරණ

1. නා.ප්‍ර. සරණ ; පිහිට ; උදවුව ; උපකාරය.
2. ආරක්ෂාව ; රැකවරණය.

පිළිසරණ බිල

නා. හරි වෙළඳ ගනුදෙනු නොදැක්වෙන එහෙත් මුදල් ණයට ගැනීමේ අරමුණෙන් නිකුත් කරන බඩු මිල ලේඛනය.

පිළිසැකසීම

නා. යන්ත්‍රසූත්‍රාදියක් අඩුපාඩු යොදා නැවත ගැලපීම ; වැඩට ගත හැකි වීම සඳහා නැවත අලුත් කිරීම.

පිළිසැඹියාව

නා. (අභි.) පටිසම්භිදාව ; විශිෂ්ට ඥානය ; කෙලෙස් පහ කළ උතුමන්ට ඇති වන ශ්‍රේෂ්ඨ ඥානය.

පිළිසැසැඳුම

(පාරිභා.) නා. වස්තු දෙකක් හෝ රේඛා දෙකක් හෝ අතර වෙනස සෙවීම ; අසමතාව.

පිළිසිඳිනවා

ක්‍රි. දරු ගැබක උපත ලබනවා ; (ජීවය) පිහිටනවා ; ඇති වෙනවා.

පිළිසෙවු

නා.ප්‍ර. ඇසුරින් අයින් කිරීම ;අතහැරීම ; වැළකීම ; ප්‍රතික්ෂේපය.

පිළිසේයාව

(පාරිභා.) නා. ඡායාරූපය ; ප්‍රතිමූර්තිය.

පිළිසොයනවා

1. ක්‍රි. යමකින් යමක් වසනවා ; අවුරනවා ; වසන්කරනවා.
2. පරිහරණය කරනවා ; පරිභෝග කරනවා.

පිළිසෝදාව

නා. (භූගෝ.) රළ ගැසීමේ දී රළට යටින් ආපසු බසින ජලයෙන් වෙරළ සෝදාගෙන යෑම ; ආපසු බැස යන රළේ ක්‍රියාකාරිත්වය.