සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1099

පීඩන පහන

(පාරිභා.) නා. වායුවෙහි පීඩනයේ බලය ආධාරයෙන් දැල්වෙන පහන.

පීඩන ලක්ෂ්‍යය

(පාරිභා.) නා. අස්ථි මත ධමනි තෙරපීම නිසා අස්ථිවලට ඉහළින් නාඩි වැටෙන ස්ථානය ; නාඩි වැටීම දැනෙන ස්ථානය.

පීඩනමානය

නා. වායුවක පීඩනය මැනීමට භාවිත කරන උපකරණයක්.

පීඩනය

1. නා.ප්‍ර. බර මගින් තෙරපීම; පෙළීම ; හිරිහැරය.
2. (භෞති.) පෘෂ්ඨයක වර්ග ඒකකයක් මත ක්‍රියා කරන බලය.

පීඩා ආඥාපනත

(පාරිභා.) නා. ශ්‍රී ලංකාවේ පවතින දණ්ඩ නීති සංග්‍රහය යටතේ පීඩාව, හිරිහැරය පිළිබඳ රජය විසින් පණවන ලද ව්‍යවස්ථා නියෝග.

පීඩාව

නා. හිරිහැරය; කරදරය ; වේදනාව ; පෙළීම ; ආබාධය.

පීඩෝ මීටරය

නා. පයින් ගමන් කිරීමේ දී ගමන් කළ දුර සටහන් වීම සඳහා – රැගෙන යාන්ත්‍රික උපකරණය.

පීණනය

නා. සතුටු කරවීම ; පිණවීම ; ප්‍රීණනය ; තෘප්තිය.

පීත

1. වි. කහපාට වූ ; කසාවන් පැහැය ගත් ; රන්වන් වූ.
2. පානය කළ ; බොනලද.

පීත ලවය

(පාරිභා.) නා. ඇසෙහි දෘෂ්ටිවිතානය ඇතුළත ඇති කහපැහැති කුඩා ලපය ; කහ ලපය.

පීත්ත

1. නා.ප්‍ර. සේද ; සිල්ක්.
2. ඇඳුම් අලංකාර කර ගැනීමට, කොණ්ඩා සැරසීමට භාවිත කරන සේද පටි විශේෂයක්.
3. (පාරිභා.) ස්කිපුලාගේ එක්තරා අවස්ථාවක්.

පීත්ත පණුවා

(නව.) නා. ටේප් පණුවා ; කොටස්වලට නමන ලද සිහින් පීත්ත පටියක ආකාරයෙන් හා හැඩයෙන් යුතු පණු විශේෂයක්.

පීදෙනවා

ක්‍රි. (ගස් - වැල්වල පළමුවරට) මල් පිපෙනවා ; ඵල හටගැනීම ආරම්භ වෙනවා.

පීන

වි. පිරුණු ; සම්පූර්ණ ; ස්ථූල.

පීනනවා

ක්‍රි. ජල යාත්‍රාවක හෝ වෙනත් උපකරණයක පිහිටිවහලක් නැති ව දෑතින් හා දෙපයින් ජලය තරණය කරනවා.

පීනස

නා. ඇස්වලින් හා නාසයෙන් දියරක් වැගිරීම ලක්ෂණය කොට ගත් නාසිකා රෝගය.

පීනික්ස්

නා.ප්‍ර. කල්පිත පක්ෂියකුගේ නාමය.

පීනොල්

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) ගල් අඟුරු හා තාර ආසවයෙන් බෙන්සින්වලින් නිපදවන සුවඳක් ඇති සුදු ස්ඵටික ද්‍රව්‍යයක් ; කාබලික් අම්ලය.

පීප්පය

1. නා. මත්පැන්, තාර වැනි දේ දැමීම පිණිස ලෑලි හෝ ටින් ආදියෙන් සාදනු ලබන ලොකු භාජන විශේෂයක් බැරලය.
2. වයින්, අරක්කු ආදිය පිළිබඳ මැනීමේ මිනුම් ප්‍රමාණයක්.

පීර

නා. ලෝහ පෘෂ්ඨ සූරාලෑමට භාවිත කරන වානේ උපකරණයක්.

පීරනවා

1. ක්‍රි. හිසකේ ආදිය පනාවකින් හෝ බුරුසුවකින් පිරිමැද සකස් කරනවා ; අවුල් හරිනවා.
2. දෙපසට කරනවා ; දෙපැත්ත අයින් කරනවා.

පීරිගානවා

ක්‍රි. මුවාත හෝ මට්ටම් ඇති කිරීම පිණිස පීරකින් ගානවා.

පීරු ප්‍රවාහය

නා. (භූගෝ.) පැසිපික් සාගරයේ ගිනිකොන පෙදෙසින් උතුරට ගලා යන ශීත දියවැල ; පීරු දියවැල.

පීලි පනිනවා

(කථා.) ක්‍රි. 1. පීලි දිගේ ගමන් කරන දුම්රියේ රෝද ඉවතට යනවා.
2. වැරදි මඟක යනවා ; අරමුණෙන් බැහැරව කටයුතු කරනවා.