සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 112

අනුපගමනය

නා. ළගටනොපැමිණීම; සමීපයට නොයෑම; නොඑළඹීම.

අනුපච්ඡින්න

වි. නොකපන ලද; නොසිඳින ලද.

අනුපචාරය

නා. ළඟ නොවන තැන; ආසන්න නොවූ ස්ථානය.

අනුපචිත

වි. රැස් නොකරන ලද; එකතු නොකරන ලද.

අනුපජාත

වි. නොඋපන්; නොහටගත්.

අනුපට්ඨානය

නා. එළඹ නොසිටීම; ළං නොවීම; අනුපස්ථිතිය.

අනුපද

1. වි. පියවර අනුව යන.
2. වි. පදයෙන් පදය; පදානුගත.

අනුපද්‍රව

වි. උවදුරු නැති; නිරුපද්‍රව.

අනුපද්‍රැත

වි. උවදුරු රහිත; අනතුරක් නැති; නිරුපද්‍රැත.

අනුපදිශේෂ

වි. (අභි.) පංච උපාදාන ස්කන්ධ ඉතිරිව නැති.

අනුපදිශේෂ නිර්වාණ ධාතුව

නා. (අභි.) පංච උපාදාන ස්කන්ධ ඉතිරි වීමකින් තොර ව ලබන නිවන.

අනුපනිශ්‍රය

වි. හේතු නොවන; කාරණ නොවන; උපකාර නොවන.

අනුපනීත

[අන් + උපනීත]
වි. (ගුරුන් වෙතට) නොපමුණුවා ගත්; (වේදාධ්‍යයනයට සුදුසු වන සේ) උපනයනය නොකළ.

අනුපපත්ති

වි. උපතකට නොපැමිණෙන; සිද්ධ නොවන.
නා.ප්‍ර. නැවත නොඉපදීම; පුනර්ජන්මයක් නොවීම.

අනුපපන්න

වි. නූපන්; අනුත්පන්න; සිදු නොවූ; අසිද්ධ.

අනුපපරීක්ෂාව

නා. නො විමසා බැලීම; වීමංසනය නොකිරීම.

අනුපම

වි. උපමා රහිත; සමාන කළ නොහැකි; අත්‍යුත්තම.

අනුපමර්දනීය

වි. නොමැඬිය හැකි; යටපත් කළ නොහැකි.

අනුපමෙය්‍ය

වි. උපමා කළ නොහැකි.

අනුපයුක්ත

වි. තැනට නොගැළපුණු; අයෝග්‍ය; අනුචිත.

අනුපයෝගී

වි. නොගැළපෙන; නොයෙදෙන්නා වූ; අනුකූල නොවන්නා වූ.

අනුපරිභෝගය

නා. පරිහරණය; ප්‍රයෝජන ගැනීම.

අනුපලබ්ධිය

නා. (න්‍යාය.) නොපෙනීම; දෘෂ්ටිපථයට හමු නොවීම; ප්‍රත්‍යක්ෂ නොවීම.

අනුපලබ්භනීය

වි. නොලැබිය යුතු; නොලැබිය හැකි.