සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1130

පොදිය

නා. මිටිය ; ගොඩ ; පොට්ටනිය ; රාශිය.

පොදු

1. වි. කාටත් සාධාරණ ; හැමදෙනා සතු.
2. සාමාන්‍ය ; අවිශේෂ වූ.

පොදු අකුර

නා. (ගණිත.) සංඛ්‍යාවක් වෙනුවෙන් කල්පිත ව යොදාගන්නා අක්ෂරය.

පොදු අගය

(පාරිභා.) නා. සාමාන්‍ය අගය.

පොදු අයිතිය

(පාරිභා.) නා. මහජනයාගේ අයිතිය.

පොදු අරමුදල

නා. දායක වන හැම දෙනාට ම අයිතියක් ඇති වන සේ තැන්පත් වන මුදල.

පොදු කෝණය

නා. යම්කිසි කෝණයක් ඇතුළත එම කෝණයෙන් ම ඊට වඩා කුඩා කෝණයක් විහිදී යන කල පූර්වෝක්ත විශාල කෝණය සඳහා යෙදෙන නාමය.

පොදු ගුණාකාරය

නා. සංඛ්‍යා කිහිපයක් ඉතිරි නැති ව බෙදිය හැකි ගණන.

පොදු ජනයා

නා. සාමාන්‍ය මහජනයා.

පොදු ද්‍රවශීලතා න්‍යාය

නා.ප්‍ර. මුදල් වැය වී යෑමේ සාමාන්‍ය ක්‍රමය.

පොදු නීතිය

නා. රටක ජන සමූහයක් විසින් ඔවුන්ගේ පාරම්පරික සිරිත් විරිත් ආගම් උරුම ආදිය ඇසුරෙන් මුල් බැස ගත් හරයෙන් යුත් නීතිය.

පොදු යහපත

නා. රටේ හැමදෙනාගේ ම ශුභ සිද්ධිය.

පොදු රාජ්‍ය මණ්ඩලය

නා. බ්‍රිතාන්‍යයේ මහරජු නොහොත් මහ රැජින නාමික වසයෙන් ප්‍රධානයා ලෙස සලකන ස්වාධීන ජාතීන්ගේ එකමුතුව.

පොදු ලක්ෂණය

නා. වෙන් වෙන් වූ දේවල ඇති සමාන ගුණය.

පොදු ලබ්ධිය

නා. (ගණිත.) ගුණෝත්තර ශ්‍රේණියක පසු පදය පෙර පදයෙන් බෙදූ විට ලැබෙන උත්තරය.

පොදු සංස්ථාව

නා. රජයේ මූල ධනය යොදා කාර්මික ව්‍යාපාර පිහිටුවා, ඒවා පවත්වාගෙන යෑම පිණිස විශේෂ පාර්ලිමේන්තු පණතක් යටතේ පිහිටුවන ලද නීතිමය ආයතනය.

පොදු සම්මුතිය

නා. කාටත් පිළිගත හැකි ලෙසට සාකච්ඡාවෙන් බැස ගත් තීරණය.

පොදු සාධකය

නා. සංඛ්‍යා කිහිපයක් ඉතිරි නැති ව බෙදිය හැකි සංඛ්‍යාව.

පොදුකරණය

නා. එකිනෙකට වෙනස් දේවල් සමාන ලක්ෂණ අනුව පොදුවේ එකක් හැටියට සැලකීම.

පොදුවේ

ක්‍රි.වි. කාටත් සාධාරණ ලෙසින් ; හැමට බලපාන අයුරින්.

පොපි

1. නා.ප්‍ර. සෙලවීම ; චංචලත්වය ; සසල බව.
2. වෙවුලුම ; ගැහීම.
3. ඇසිපිය හෙළීම.
4. කැක්කුම.
5. කැසීම.
6. පිරී ඇති බව.
7. වට-මට බව.
8. එඩිය ; මදය ; නොදැමුණු බව.
9. ඇල්ම ; ආශාව.
10. මතුපිටට නෙරා ඒම ; එක්වර ඉදිරියට තෙරපීම.

පොපිදෙනවා

1. ක්‍රි. සැලෙනවා ; චලනය වෙනවා ; වෙව්ලනවා ; පොපියනවා.
2. ප්‍රබෝධ වෙනවා ; නළියනවා.
3. ඇදුම් දෙනවා ; කකියනවා.

පොබ

නා.ප්‍ර. පිබිදීම ; ප්‍රබෝධය.

පොබයනවා

1. ක්‍රි. නින්දෙන් නැගිටුවනවා ; අවදි කරනවා.
2. කැකුළු පිපෙන්නට සලස්වනවා.
3. සතුටු කරනවා.