සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1129

පොඩොම

නා. ලෝහ දමා උණු කරන හෝ පුලුස්සන හෝ භාජනයක්; කෝවය.

පොත

1. නා. මුද්‍රණය කළ හෝ ලියූ හෝ කොළ එකට බැඳ සකස් කළ ලේඛනය ; ග්‍රන්ථය ; පුස්තකය.
2. පත්‍රය ; කොළය.
3. මෝස්තර නාමයක්; පත්‍ර (කොළ) සැරසිල්ල හා වෙනත් සැරසිලි මෝස්තර සඳහා භාවිත වන නාමයක්.
4. ලියද්ද ; වෙල ; යාය.
5. භූමිය ; ඉඩම ; ප්‍රදේශය.

පොතත

[පොත් + අත]
1. නා. මහා බ්‍රහ්මයා.
2. මහා බ්‍රහ්මයාගේ භාර්යාව ; සරස්වතී දේවිය.
3. බුද ග්‍රහයා.

පොතනය

නා. ලියාපදිංචිය ; ලියාපදිංචි කිරීම.

පොතලු රුව

නා. ආදර්ශ රූපය.

පොතහගාර

නා.ප්‍ර. භික්‍ෂු සංඝයා විනය කර්ම සිදුකරන ස්ථානය ; උපෝසථාගාරය.

පොත් කම්බය

නා. පුස්කොළ පොතේ ආරක්ෂාව සඳහා දෙපැත්ත වසාලන තුනී ලෑලි පටිය.

පොත් කරනවා

1. ක්‍රි. පොත් ලියනවා ; පුස්තකාරූඪ කරනවා.
2. (වැඳීම සඳහා) අත් දෙකේ අලු දෙක එක් තැන් කරනවා.
3. තැන්පත් කිරීම සඳහා රෙදි නමනවා.

පොත් කාවා

නා. කෘමි වර්ගයක්; විශේෂයෙන් පොත් විනාශ කරන කාවුන් වර්ගයක්.

පොත් ගෙඩිය

නා. ලිවීම සඳහා සකස් කර ගත් පුස්කොළ මිටිය.

පොත් තැබීම

නා. ගනුදෙනු අයවැය ආදිය ලේඛනගත කිරීමේ ශාස්ත්‍රය ; ගණන් තැබීම.

පොත් නාමාවලිය

නා. පොත්වල නම් පිළිවෙළට සකස් කළ ලැයිස්තුව.

පොත් පිංච

නා.ප්‍ර. කුඩා පොත.

පොත්ගුල

නා. පොත් තබා ඇති කාමරය ; ගෙය ; පුස්තකාලය.

පොත්ත

1. නා. ගස් ගෙඩි ආදියේ පිට ලෙල්ල ; සුඹුල.
2. මත්ස්‍ය ආදින්ගේ කොරපොත්ත.
3. හොරි වණ ආදියේ පිට සිවිය.

පොත්පත්

නා.බහු. පොත්, ලිඛිත හා මුද්‍රිත දේ නොහොත් ග්‍රන්ථ හා පත්‍රිකා පිළිබඳ සමස්තය.

පොතාන බිම

නා. කුඩා කැලෑරොද සහිත තැනිතලා ප්‍රදේශ.

පොතෙස්තන්ත්‍රවාදය

නා. රෝමානු කතෝලික ආගමට අයත් නිකාය වාදයක්.

පොතේ විරිදුව

නා. නාඩගමක පොතේගුරා විසින් ගයනු ලබන ආරම්භක ගීතය ; පොතේ සින්දුව.

පොතේගුරා

නා. නාට්‍යයක පෙළ කියවන්නා ; නළු නිළියන් හඳුන්වා දෙන්නා ; සූත්‍රධාර.

පොද

1. නා.ප්‍ර. ද්‍රව බින්දුව ; දියර ස්වල්පය.
2. වැහි බින්දුව; වැසි දිය.
3. ටික ; ස්වල්පය ; ඉතා සුළු ප්‍රමාණය.

පොද ජලය

නා. බින්දු වසයෙන් වැටෙන ජලය.

පොද වෑහෙනවා

ක්‍රි. වර්ෂා බින්දු බිම වැටෙනවා.

පොදිකනවා

ක්‍රි. එක ගොඩට රැස්වෙනවා ; ගොඩ , ගැහෙනවා ; රැස් කනවා ; එක් තැන රාශි භූත වෙනවා.