සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1208

මරියාදාව

නා. සීමාව ; ඉම.

මරු

1. නා.ප්‍ර. මරණය.
2. මරණය ඇති කරන්නා ; මරන්නා ; විනාශ කරන්නා ; වසවර්ති මාරයා.
3. සුළඟ ; පවන ; මාරුතය
4. වැලි; වාලුකා.
5. දෙවියා.
වි. ඉතා හොඳ ; ඉතා උසස්.

මරු පහර

1. නා. වැදීමෙන් ජීවියකු මරණයට පමුණුවන බලවත් පහර තරම් ; මාරාන්තික පහර.
2. (නව.) තදබල අවාසනාව ; තද හානිය.

මරු වැල

1. නා. මරණයට හේතුවන වැල ; උගුලට හසුවීමට අපේක්ෂිත සතා විසින් ම උගුල ගැස්සීමට අටවන ලද රැහැන.
2. (කථා.) මාලු බාන බිලී වැල ; බිලිය අමුණන නූල.
3. බාධාව ; අවහිරය.

මරුකට

නා.ප්‍ර. මාරයාගේ මුව ; මාර මුඛය ; අවදානම් තැන ; ජීවිත හානිය වන ස්ථානය.

මරුකතර

නා. ගස්වැල් නොවැඩෙන දිය රහිත වැලි බහුල භූමිය ; වාලුකා කාන්තාරය.

මරුකපොල්ල

නා. ඉතා අවදානම් තැන ; මාරක ස්ථානය.

මරුගණ

1. නා.ප්‍ර. දේව සමූහයා ; දෙව් පිරිස.
2. මර සෙනග ; මාර දිව්‍ය සේනාව.

මරුත්

1. නා.ප්‍ර. වේද සාහිත්‍යයෙහි සඳහන් වාත වළාහක දෙවි.
2. වාතය ; මාරුතය ; සැඬ සුළං.

මරුත් පුත්

නා.ප්‍ර. මරුත් දෙවියාගේ පුත්‍රයා ; හනුමාන්.

මරුත්තු

නා.ප්‍ර. කඩ කිරීම ; උල්ලංඝනය.

මරුතැන

නා. ශරීරයෙහි පිහිටි ප්‍රාණස්ථානය ; මර්මස්ථානය ; පහරක් ලැබීමෙන් මරණය සිදුවිය හැකි ශරීර ස්ථානය.

මරුතු

1. නා.ප්‍ර. මරුක් නම් ධාන්‍ය වර්ගය.
2. කුඹුක් ගස.

මරුනිල

නා.ප්‍ර. ශරීරයේ මාරකස්ථාන.

මරුපහට

ක්‍රි.වි. ඉතා සාර්ථක ලෙස ; ඉතා හොඳින්.

මරුපහස

1. නා. සුළගේ ස්පර්ශය ; සුළං වැදීම.
2. මාරයාගේ ස්පර්ශය ; මරණය.

මරුවා

1. නා. මාරයා ; මරණය ගෙන දෙන්නා ; මිනිසුන් මරන්නා ; මිනීමරුවා.
2. සුවඳ මල් හටගන්නා මල් ගස් විශේෂයක්.

මරුවිකලය

නා. මරණාසන්න අවස්ථාවෙහි ඇති වන සිහිය අවුල් වීම ; මරණය ගැන සිතේ ඇති වන කැලඹිලි ස්වභාවය.

මල

1. නා.ප්‍ර. අපිරිසිදු දෙය ; අපවිත්‍ර දේ ; කිලුට.
2. අසූචි ; වර්චස් ; ගුථය.
3. කෙලෙස් ; ක්ලේශ.
4. ආමාශගත පණු කොටසක්.
5. මලකඩ.
6. තොණ්ඩුව ; පාශය ; මලපුඩුව.
7. මලබාර් ජාතිකයා.
8. (ඉදිකටු ආදියෙහි) සිදුර ; ජිද්‍රය.
9. වැද්දා ; ව්‍යාධයා.
10. මාමා ; මාතුල.
11. විශාල ගල; ගිර ; පර්වතය ; ශෛලය.
12. වස්ත්‍රය ; පිළිය.
13. ගස්වැල්වල හටගන්නා වර්ණවත් පෙති හා රේණු සහිත අලංකාර අංගය ; කුසුමය ; පුෂ්පය.
14. බාල සහෝදරයා ; මල්ලී.
15. අප්පල්ලය ; පූකිරිය.
16. මල්ලවයා ; ගුස්තිකාරයා.
17. ඇසෙහි සුදු ලප සෑදෙන රෝග විශේෂයක්.
18. වචන එකතුව.

මල අටවනවා

ක්‍රි. උගුල යොදනවා ; පාසය තබනවා.

මල ඇරෙනවා

1. ක්‍රි. (විරේක බෙහෙතකින්) බඩ සුද්ද වෙනවා ; විරේක වෙනවා.
2. කිතුල් මලේ කාලය ඉවර වෙනවා ; කිතුල් තෙලිදිය වරනවා.

මල ගහනවා

ක්‍රි. මලකඩ කනවා ; මල බැඳෙනවා.

මල පේ කරනවා

ක්‍රි. කප සිටවන ලද දිනයේ පේ කරන ලද පොල් ගසින් කපා ගත් පොල් මල්. දේව කාර්යය සඳහා සුදුසු වන පරිදි සකස් කරනවා.

මල බඳිනවා

1. ක්‍රි. මල පහ නොවී වියළෙනවා ; මල වේළෙනවා ; මල බද්ධ වෙනවා.
2. උගුල අටවනවා ; පාශය බඳිනවා.
3. යකඩ මල ඇති වෙනවා ; මලකඩ කනවා.