සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1214

මසුරිකාව

නා. පිළිකාව.

මසුරු

වි. තමන් සතු දෙයක් අනුන්ට දීමට නොකැමැති ; ලෝබ ; මාත්සර්යයෙන් යුතු.
නා.ප්‍ර. තමාට අයත් දෙය අනුන්ට දීමට නොකැමැති බව.

මසුරුමල

නා. මසුරුකම නමැති කිලුට.

මහ

1. වි. ප්‍රමාණයෙන් විශාල ; ලොකු ; විපුල ; මහත්.
2. උතුම් ; ශ්‍රේෂ්ඨ ; පූජනීය.
3. ප්‍රමුඛ ; ප්‍රබල ; බලවත්.
4. ආශ්චර්ය ; අද්භූත.
5. බරපතළ ; තදබල.
6. වයසින් වැඩි ; වැඩිමහලු.
1. නා.ප්‍ර. මහ කන්නය ; ඊසාන දිග මෝසම් සුළං කාලය ; ගොවිතැන් කරන ප්‍රධාන වාරය.
2. ඉවසීම.
3. මාසය.

මහ ආණ්ඩුව

නා. මධ්‍යම ආණ්ඩුව ; පෙඩරල් ආණ්ඩු ක්‍රමයේ මධ්‍යම පාලන තන්ත්‍රය.

මහ ඇදුරා

1. නා. ප්‍රධාන ආචාර්යවරයා ; සරසවියක යම් විෂයයක් භාර ප්‍රධාන ආචාර්යවරයා ; මහාචාර්යවරයා.
2. වඩුවන්ගේ ප්‍රධානයා.
3. මහා මන්ත්‍ර ශාස්ත්‍රඥයා.

මහ ඇමතියා

1. නා. ඇමතිවරුන් අතරෙහි ප්‍රධානයා ; අග්‍රාමාත්‍යයා.
2. පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යයා ; ප්‍රාන්තයක ප්‍රධාන ඇමතිවරයා.
3. ප්‍රධාන නිලධාරියා.

මහ උර

නා.ප්‍ර. මහ පවුර ; මහා ප්‍රාකාරය.

මහ එළිය

1. නා. අවකාශය ; ගස් ආදිය නැති පිට්ටනිය ; මහා අඞ්ගණය.
2. ධාතුසේන රජු විසින් කළ අටළොස් මහ වැව් අතුරින් එකක්.

මහ කැලරිය

නා. ජලය කිලෝග්රෑම් එකක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0 සිට සෙන්ටිග්‍රේඩ් 1 දක්වා නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය.

මහ කොමසාරිස්

(පාරිභා.) නා.ප්‍ර. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් වෙනත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක දී නියෝජනය කරන තානාපති නිලධාරියා.

මහ ගජනාව

නා. වෙඩි බෙහෙත් දමා කොටන ලොකු තුවක්කුව.

මහ ජාතිය

නා. ප්‍රධාන ජාතිය ; බහු ජාතික ජනගහනයෙන් බහුතරය.

මහ තේවය

නා. විහාර දේවාලවල පවත්වනු ලබන (ආහාර පූජා ඇතුළත්) අලුයම් තේවාව හා හැන්දෑ තේවාව.

මහ දිසාව

1. නා. විශාල _ පළාත ; මහනුවර රාජධානියේ ප්‍රධාන පාලන කොට්ඨාස ඒකකය.
2. නැගෙනහිර ආදි ප්‍රධාන පාලන කොට්ඨාස හතරෙන් එකක්.

මහ දොර

1. නා. ප්‍රධාන දොරටුව ; මහා ද්වාරය.
2. ශරීරයේ කුණු වැගිරෙන නව විධ මහාද්වාර.
3. දොර පියන ; දොර ලෑල්ල.
4. ඇතුළු පුරය ; අන්තඃපුරය.

මහ නඩුව

නා. සිංහල රජ දවස රජතුමා ප්‍රමුඛ කොට ඇති අදිකාරම්වරුන් ඉදිරිපිට පවත්නා නඩු විභාගය ; මහාවාසල නඩුව.

මහ නින්ද

1. නා.ප්‍ර. තද නින්ද.
2. (කථා.) (රූඪි.) මරණය.

මහ බැංකුව

නා. ප්‍රධාන බැංකුව ; රජය සතු ප්‍රධාන මුදල් ආයතනය.

මහ බිතක්කන

නා. බිත්තිය අසල අගුව ; පිළිකන්න.

මහ මළුව

නා. ශ්‍රී පාදය, මහනුවර දළදා මාළිගය, ශ්‍රී මහා බෝධිය ආදී සිද්ධස්ථානවල ඉදිරිපස පිහිටි අංගණය.

මහ මැතිවරණය

නා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා පවත්වන මහජන ඡන්ද විමසීම ; පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීම සඳහා කරන ඡන්ද විමසීම.

මහ මුහුණා

නා. බකමූණා ; උලූකයා.

මහ ලේකම්

1. නා.ප්‍ර. මහනුවර කාලයේ ලේඛන කටයුතු සම්බන්ධ ලේකම් කාර්යාංශය පාලනය කළ නිලධාරියා.
2. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ ප්‍රධාන පාලන ධුරයක්.
3. ඒ ධුරය දැරූ තැනැත්තා.

මහ සිකුරාදා

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ දිනය සමරන සිකුරාදා දිනය.